හිස්බුල්ලා කටත් වරද්දවා ‌ගෙන යලිත් ඇන ගනී - උසාවියට අපහාස කළායැයි හිස්බුල්ලාට නඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 7, 2019

හිස්බුල්ලා කටත් වරද්දවා ‌ගෙන යලිත් ඇන ගනී - උසාවියට අපහාස කළායැයි හිස්බුල්ලාට නඩු

විනිශ්චයකාරවරුන් වහාම මාරු කර යවා තමන්ට අවශ්‍ය නඩුකාරවරුන් පත්කරගෙන ඇතැම් නඩු තීන්දු ලියවා ගත් බවට නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් කරන ලද ප්‍රකාශයක් අඩංගු වීඩියෝ පටයක් රූපවාහිනි වැඩසටහනකදී විකාශය වූ හෙයින් වහාම ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටිමින් ඊයේ (06දා) ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මාරවිල පදිංචි ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා විසින් අධිකරණයට අපහාස කිරීමේ මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

ඉකුත් 13 වැනි දින ‘දෙරණ’ රූපවාහිනි නාළිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයට පසුව විකාශය වූ ‘ටෝක් විත් චතුර’ වැඩසටහනේදී එකී වීඩියෝ පටය විකාශය වූ බවත් වගඋත්තරකාර හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා විසින් කරන එම ප්‍රකාශය තමාද නැරඹූ බවත් පවසන පෙත්සම්කරු ඊට අදාළ සී.ඩී. තැටියද අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

‘එක්ස් 4’ ලෙස එම සංවාදයද මෙලෙස දක්වා ඇත.

“අපට විනිශ්චයකාරවරයකු මාරු කළ හැකිද? ඒක අමාරු වැඩක් නේද? මම නඩුකාරයා මාරු කළා. මම වහාම නඩුකාරයා මාරුකරලා අපේ නඩුකාරයා ගෙනැවිල්ලා නඩු තීන්දුව ලියන්න කිව්වා”

ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹන රූපවාහිනි නාළිකාවක් තුළින් කරන ලද මෙම ප්‍රකාශය මඟින් අධිකරණ ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය ඉතාමත්ම බරපතළ බවත්, එමඟින් සමස්ත අධිකරණ පද්ධතියටම සිදුව ඇති බරපතළ අපහාසය තක්සේරු කළ නොහැකි තරම් වන බවත් එකී විකාශය මෙරට තුළ පමණක් නොව ලොව පුරා ව්‍යාප්ත විකාශයක් බැවින් සමස්ත ලෝකය පුරා ශ්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳවත්, විනිශ්චයකරුවන් පිළිබඳවත් හටගන්නා අප්‍රසන්නතාව හා කලකිරීමද සුළුපටු නොවන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු එම ප්‍රකාශය මඟින් වගඋත්තරකරු සමස්ත රටේම අධිකරණයටත්, රටේ අභිමානයටත් සිදු කර ඇති හානියේ ප්‍රමාණය සලකා සුදුසු දඬුවම් නියම කරන ලෙසට ඉල්ලා සිටී.

තවද මෙමඟින් ඔහු ගරු ශේ‍ර්ෂ්ඨාධිකරණය ඇතුළු සමස්ත අධිකරණයටත්, අධිකරණ සේවා කොමිෂන් සභාවටත්, බරපතළ අභියෝගයක් සිදුකොට ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාවෙන් සැලසී ඇති නීති ප්‍රතිපාදන මත ලබාදිය හැකි උපරිම දඬුවම් නියම කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටී.




කමල් මහේන්ද්‍ර වීරරත්න

No comments:

Post a Comment

Post Bottom Ad