රනිල්, මලික් සහ අර්ජුනගේ කැබිනට් පත්‍රිකා විසිවුණු හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 16, 2018

රනිල්, මලික් සහ අර්ජුනගේ කැබිනට් පත්‍රිකා විසිවුණු හැටි


කැබිනට්ටුව රත්කළ යෝජනා
ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් සතියේ කැබිනට් හමුව පැවැත්වූයේ අඟහරුවාදා පෙරවරුවේය. එහිදී විශේෂ අවධානය යොමු වූයේ අධීක්ෂණ මන්ත්‍රිවරුන් සඳහා ලබාදීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර තිබූ අපූරු පැකේජයක් ගැනය. අගමැති රනිල් මෙම යෝජනාව ඉදිරිපත් කළේය. 'ගම්පෙරළිය' වැඩසටහන සඳහා පත්කරන අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට හත් දෙදෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්, කාර්යාලයක්, වාහනයක්, සීමා රහිත ඉන්ධන දීමනාවක්, දුරකථන දෙකක් සහ මාසික දීමනාවක් ලබාදීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි. මෙය දුටු විගසම ශ්‍රී ලනිප ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, සරත් අමුණුගම සහ මහින්ද අමරවීර ඊට විරුද්ධව කතාබහ කළහ. 'ජනතාවට අමාරු වෙලාවේ මේවා කරන්න ගියොත් ඒක එච්චර හොඳ දෙයක් නෙවේ. මේක කරන්න පුළුවන්කමක් නෑ' ජනපති මෛත්‍රි කීවේය.
'අපි මේ ගැන කමිටුවක් පත්කළා. ඒකෙ නිර්දේශ මතයි මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න යන්නේ' අගමැතිවරයා කීවේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්, අගමැති ලේකම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් යන ත්‍රිපුද්ගල කමිටුවකින් මේ ගැන වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර එහි නිර්දේශද මේ සඳහා ඉදිරිපත් කර තිබිණි.
කෙසේ වෙතත් පැමිණි විරෝධය හමුවේ ජනපති මෛත්‍රි එම යෝජනාව ඉවත් කළේය. අනතුරුව මලික් සමරවික්‍රම ඇමැතිවරයාද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එයද ජනපති මෛත්‍රි විසින් ඉවත දමා තිබේ.
එම යෝජනාවේ තිබුණේ ඇමැතිවරුන්ට ඉදිරිපත් වන නඩු සඳහා කතා කරන නීතිඥවරුන්ට ගෙවිය යුතු මුදල් රජයෙන් ගෙවීම සඳහා වන යෝජනාවකි. එම යෝජනාවද කැබිනට් හමුවේදී ඉවත දමා ඇත.
ඇමැති අර්ජුන විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ප්‍රතික්ෂේප විය. එම කැබිනට් පත්‍රිකාවෙන් කියැවුණේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා අවස්ථා අසූවක් ලබාදීමට අනුමැතිය ලබාදෙන ලෙසය.
සුවිශේෂී ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හා සී.පී.එස්.ටී.එල්. සමාගමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනකු බඳවා ගැනීමට මෙම අවසරය ඉල්ලා තිබිණි. ඒ සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබුණේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා නොව දීමනාවක් පමණක් ලබා දිය යුතු බවයි. ඒ ගැන අමාත්‍ය අර්ජුන රණතුංග අදහස් දැක්වූයේ තරමක් කනගාටු ස්වරූපයෙනි.
'අද ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරයි තරමක් දුරට හෝ හොඳින් ජීවත් විය හැක්කේ. ජාතික මට්ටමේ අනෙක් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදා වේල කන්න නැතිව ඉන්නවා. අපි උත්සාහ කළේ එවැනි ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් රැකවරණයක් ලබා දෙන්න. අන්ධ ක්‍රීඩකයන්, ගම්බද ක්‍රීඩකයන් දිනපතා අපිව හමුවෙන්න එනවා. ඔවුන්ට අපි පිළිසරණයක් විය යුතුයි. අර්ජුන රණතුංග පවසද්දී ජනපති මෛත්‍රිපාල කීවේ තෙල් සංස්ථාවට එවැනි අනුමැතියක් දුනහොත් වරාය වැනි වෙනත් ආයතනවලටත් එවැනි අවස්ථාවක් දීමට සිදු වෙනවා.' ඒ නිසා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය හරහා පොදු වැඩපිළිවෙළක් හදන්න' කියාය. 'ඇත්තටම මම අද ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පදනම් වුණේ මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පදනම් කරගනිමින්. ඒ පත්‍රිකාවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දෙන්න තිබුණා'යි අර්ජුන දීර්ඝව කරුණු පැහැදිලි කළත් පලක් වූයේ නැත. ඒ ඔහුගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙනි.
21,965 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad