වඳ බෙහෙත් හෝටලයේ හිමිකරු පළමුවරට මාධ්‍යයට කතා කරයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 2, 2018

වඳ බෙහෙත් හෝටලයේ හිමිකරු පළමුවරට මාධ්‍යයට කතා කරයි.


පසුගියදා අම්පාර ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී තත්ත්වයට මුලික වූ ආපන ශාලාවේ හිමිකරු 'රැස' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබේ.

මේ එම සාකච්ඡාවයි.

ඔහු නමින් ඒ. එල්. ෆර්සිත්. පසුගියදා බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ සිය ආපන ශාලාවේ ආහාරවලට මිනිසුන් ප්‍රජනන ක්‍රියාවලියේදී වඳභාවයට පත්කරන පෙති වර්ගයක් මිශ්‍ර කළා යැයි කියන චෝදනාව හේතුවෙනි. මේ සම්බන්ධ වීඩියෝව සමාජ ජාලා තුළ ලැව් ගින්නක් සේ ව්‍යාප්ත වුණේ බොහෝ දෙනා තුළ වඳ වීමට ඇති භීතිකාව මෙන්ම මුස්ලිම් භීතිකාවක්ද ඇති කරවමිනි. මෙය ජනවාර්ගික ප්‍රශ්නයක් බව පවසන්නට උත්සාහ කළද එය එසේ නොවන බව අපි විශ්වාස කරමු. එහෙයින්, අපි ෆර්සිත්ගේ කතාවට ඉඩ දෙන්නෙමු.   

ඇත්තටම මොකද වුණේ?   

මම මගේ කඩය පටන් අරන් මාස තුනයි. කුළී පදනමෙන් තමයි මේ කඩය අරගත්තෙ. සිංහල මුස්ලිම් ගොඩක් දෙනා මගේ කඩයට එනවා. මේ සිද්ධිය වූ දා රෑ 10ට විතර මේකට මුල් වූ තැනැත්තා ඇවිත් හරක් මස් ඉල්ලුවා. මගේ කඩේ රෑ හත - හතහමාර වෙද්දි හරක් මස් ඉවර වෙනවා. ඒ හින්දා මම මගේ සේවකයින්ට කන්න තියෙන හරක් මස් ඔහුට යැව්වා.  

හරක් මස් විතරද?   

හරක් මස් එක්ක පරාටා යැව්වා. තව කුකුළු මස් හොදි එක්ක පරිප්පු යැව්වා.   

ඉන් පස්සෙ?   

පරාටා එකේ පොඩි පිටි ගුලියක් තිබිලා තියෙනවා. ඒක වේටර් කෙනෙක්ට පෙන්නලා ඔහු ප්‍රශ්න කරලා තියෙනවා. පස්සෙ මගේ ළඟට ඇවිත් කරදර කරන්න ගත්තා. එතන හිටි තව සිංහල මිනිසුන් දෙන්නෙක්ට මේ තැනැත්තා කිව්වා මේ ගැන. පස්සෙ ඔහු කෝල් එකක් ගත්තා.   

ඔහු විතරද ඒ වෙලාවෙ හිටියේ?   

ඔව්, ඔහු විතරයි. ඒත් 'කෝල්' එක ගත්තට පස්සෙ තව හතර දෙනෙක් ආවා. ඊට පස්සෙ බලාගෙන ඉද්දි තිහ - හතළිහක් දෙනා මගේ කඩේට ආවා. මගේ 'ස්ටාෆ්' ඔක්කොම පහක් ඉන්නවා. ඒ එක්කෙනෙක්ගෙ කණටත් ගැහුවා.   

ඒවා වීඩියෝවෙ නැහැ?   

ඔව්, වීඩියෝව කළේ ඉන් පස්සෙ. මට ජීවිතේ ගැන බයක් ආවා. ඒ බයට මම හැමදේටම ඔළුව හෙළෙව්වා. මම සිංහල වචන හුඟක් දන්නෙ නෑ. වෙළඳාමෙදි පාවිච්චි කරන වචන ටිකක් දන්නවා. ඔවුන් ඇසුවෙ මොනාද කියලා මට තේරුණේ නෑ. වඳ බෙහෙත් කියන වචනෙ මම දැනගෙන හිටියෙත් නෑ.   

පොලිසිය ආවෙ නැද්ද?   

ටික වෙලාවකින් පොලිසිය ආවා. කෑම පොලිසිය භාරයට ගත්තා. තාම ආහාරවල මොකුත් තිබුණද හොයාගෙන නෑ. මගේ යාළුවො ඇවිත් කිව්වා මාව අත්අඩංගුවට ගත් හේතුව. මම පොලිසියට ගියාට මගේ ජීවිතේට කිසිම අනතුරක් නොවෙන්න පොලිසිය මාව හොඳින් බලා ගත්තා. ඒත් මගේ කඩේට එහෙම වුණේ නෑ.   

ඒ කිව්වෙ?   

මගෙ කඩේ සීල් තියලා තිබුණේ සියල්ල විනාශ වුණාට පස්සේ. ලක්ෂ ගණනක් වටිනා ශීතකරණයක් එක්ක බඩු ගණනාවක් විනාශ කරලා තියෙනවා. එයින් වුණ පාඩුව මට දරා ගන්න අමාරුයි.   

නිදහස් කළේ කවද්ද?   

අත්අඩංගුවට ගත් දිනට පසු දින අඟහරුවාදා මාව නිදහස් කළා.   

දැන් කඩේ ආයෙ පටන් ගන්නවාද?   

ඊට කලින් මට වුණ හානිය ගැන හිතන්න වෙනවා. මගේ ගැන වීඩියෝ පවා පළවුණා. මගේ ව්‍යාපාරය වගේම මගේ ගෞරවයත් නැති වුණා. මම මේකට ඉදිරියේදී මානව හිමිකම් කොමිසමට යන්නත් අදහස් කරගෙන ඉන්නවා. අනික් පිරිස සමාදාන වෙන්න කැමති බව ආරංචි වෙනවා. ඒත් මට වූ හානිය එයින් පියවෙන්නෙ නෑ. ඒ නිසාම මට නීතිය හමුවට යන්න වෙනවා.   

ඊට පස්සෙ?   

ඊට පස්සෙ මගේ කඩේ ආයෙ පටන් ගන්න ඉන්නවා. ඒක පටන් ගත්තට මම කාටවත් භේද කරලා සලකන්නෙ නැහැ. හැමෝටම කන්න දෙනවා. ඒත් එදා හිත ලොකු බයක් ඇති වුණා. ඒක තාමත් තියෙනවා.  

No comments:

Post a Comment

Post Bottom Ad