ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ තුන්කොන් සටනේ මුල් ජය බංග්ලාදේශයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ තුන්කොන් සටනේ මුල් ජය බංග්ලාදේශයට


ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිම්බාබ්වේ සමඟ පැවැති තරගය කඩුලු 8කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දෙමින් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 170ට පිළිතුරු සැපයූ බංග්ලාදේශය කඩුලු 2ක් පමණක් අහිමි කරගනිමින් පන්දුවාර 28යි පන්දු 3කින් නියමිත ඉලක්කය පසු කර ගියේය. එහිදී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක නිරත වූ තමීම් ඉක්බාල් පන්දු 93කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 84ක් ලබා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

මිරිපූර්හි ෂෙයෙරා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතුරින් සොලමන් මීරේ හා ඉන්පසු පැමිණි කේ‍රජ් අර්වින් කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර සකිබ් අල් හසන්ගේ ගොදුරු බවට පත්වීම හේතුවෙන් සිම්බාබ්වේ ඉනිම අඩපණ විය. 

කෙසේ වෙතත් සිම්බාබ්වේ ඉනිම ලකුණු 81කට කඩුලු 5ක් දැවී ගොස් තිබූ මොහොතක 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 සබඳතාවක් එක් කිරීමට සිකන්දර් රාසා හා පීටර් මූර් සමත් වුවද එය සිම්බාබ්වේ ඉනිම ගොඩගැනීමට තරම් ශක්තිමත් වූයේ නැත. පන්දු 99කට මුහුණ දී හතරේ පහර දෙකක් හා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 52ක් ලබාගත් සිකන්දර් රාසා සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූ අතර, සකිබ් අල් හසන් ලකුණු 43කට කඩුලු 3ක් ලබා පිත්තෙන්ද ලකුණු 37ක දායකත්වයක් ලබා දීම නිසා තරගයේ වීරයා බවට පත්විය. 

මේ අතර මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය බදාදා (17දා) සිම්බාබ්වේ සමඟින් පැවැත්වීමට නියමිතව ඇති අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතය.

ලකුණු සාරාංශය,

සිම්බාබ්වේ (පන්දුවාර 49කදී සියලු දෙනා දැවී) 170 
(සිකන්දර් රාසා 52, පීටර් මූර් 33, බේ‍රන්ඩන් ටේලර් 24, හැමිල්ටන් මසකඩ්සා 15, මැල්කම් වොලර් 13, සකිබ් අල් හසන් 3/43, රුබෙල් හොසේන් 2/24, මුෂ්ටෆිසූර් රහමන් 2/29)

බංග්ලාදේශය (පන්දුවාර 28.3කදී කඩුලු 2කට) 171 
(තමීම් ඉක්බාල් නොදැවී 84, සකිබ් අල් හසන් 37, අනමුල් හක් 19, මුෂ්ෆිකර් රහීම් නොදැවී 14, සිකන්දර් රාසා 2/53)

No comments:

Post a Comment

Post Bottom Ad