මහින්දට නඩු දමා කිසිදු මැතිවරණයකට තරග කිරීම තහනම් කල යුතුයි..- බරපතල ජනාධිපති කොමිසම නිර්දේශ කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 24, 2018

මහින්දට නඩු දමා කිසිදු මැතිවරණයකට තරග කිරීම තහනම් කල යුතුයි..- බරපතල ජනාධිපති කොමිසම නිර්දේශ කරයි..

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිය ප්‍රචාරක කටයුතු සඳහා මුදල් නොගෙවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) යොදාගැනීම මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ “දූෂණය” සම්බන්ධ වැරදි එකක් හෝ කිහිපයක් කර ඇති බව බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම නිගමනය කර තිබේ.

ඒ අනුව දූෂණය, දූෂණයට කුමන්ත්‍රණය කිරීම සහ දූෂණයට අනුබල දීම යන චෝදනා යටතේ හිටපු ජනාධිපතිවරයාට ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව සංශෝධිත අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ අධිචෝදනා ඉදිරිපත් කර අධිකරණයේ නඩු පැවරිය යුතු යයි ජනාධිපති කොමිසම නිර්දේශ කරයි.

අයිටීඑන් මාධ්‍ය ජාලයේ හිටපු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අනුර සිරිවර්ධන, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත් සහ එහි සහකාර කළමනාකරු (අලෙවි) දිලීප් වික්‍රමසිංහ එසේ නඩු පැවරීම සඳහා කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ තිබෙන සෙසු තිදෙනාය. ඔවුන් තිදෙනා තවදුරටත් රාජ්‍ය ආයතනයක සේවය කිරීමට නුසුදුසු බව ද කොමිසම නිගමනය කර තිබේ.

බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව සහ බරපතළ වංචා, දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා අඟහරුවාදා (ජනවාරි 23) පාර්ලිමේන්තුවේ දී සභා ගත කෙරිණි.

“දූෂණයට අනුබල දීම” සහ “දූෂණයට කුමන්ත්‍රණය කිරීම” විවිධ අවස්ථා යටතේ සිදු කර ඇති බව පෙනී යන්නේ යයි පවසන බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම, එවැනි වැරදි සිදු කළ පුද්ගලයන් “රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැකි,” බව ද සඳහන් කරයි.

විශේෂයෙන්ම “දූෂණයට” වැරදිකරුවන් කෙරුණු දේශපාලනඥයකු සත් වසරකින් පසුව හෝ මහජන නියෝජිතයෙකු වශයෙන් තේරී පත්වීම නුසුදුසු බව කොමිෂන් සභාවේ අදහසය.

එබැවින් ඉහත කී ආකාරයේ චෝදනාවකට අධිකරණය ඉදිරියේ වරදකරුවන් බවට තීරණය කෙරුණු පුද්ගලයන් යළිත් කිසිදු අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ එසේ පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්වීමට නුසුදුස්සන් බවට පත්කරමින් නීති සම්පාදනය කරන ලෙස ද ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද, හිටපු ජනාධිපතිවරයා ස්වාධීන රූපවාහිනී සේවයට මුදල් නොගෙවීම සම්බන්ධ පරීක්ෂණයේ චුදිතයෙකු ලෙස නම් කර තිබුණ ද ඔහුට එරෙහිව නඩු පවරන මෙන් කොමිසම නිර්දේශ කර නැත.

බලයේ සිටින දේශපාලකයන් මැතිවරණ ප්‍රචාරය සඳහා රාජ්‍ය මාධ්‍ය යොදාගැනීමේ නැඹුරුව පිළිබඳව අවධානය පළ කරන ජනාධිපති කොමිසම, මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක රාජ්‍ය මාධ්‍ය අධීක්ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබේ.

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදු වූ බව පැවසෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා 2015 මාර්තු 03 වෙනි දින පත්කරන ලද බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් පිටු 1135කින් සමන්විත අවසාන වාර්තාව පසුගිය ජනවාරි 02 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන්නේය.

තවත් රාජ්‍ය ආයතන 16ක් සම්බන්ධ විමර්ශනවල ප්‍රතිඵල සම්බන්ධ දීර්ඝ විස්තරයක් ද එම වාර්තාවට ඇතුළත් වේ. ඉන්පසුව එහි පිටපතක් පාර්ලිමේන්තුව වෙත භාර දෙන මෙන් පක්ෂ නායකවරුන්ගේ ඉල්ලීම ප්‍රකාර කථානායක කරු ජයසූරිය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් භාර දෙනු ලැබූ වාර්තාව අඟහරුවාදා (ජනවාරි 23) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි.

– BBC

No comments:

Post a Comment

Post Bottom Ad