ආණ්ඩුවට පක්ෂද විපක්ෂද? තීන්දුව ඡන්දෙන් පෙන්වන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 15, 2017

ආණ්ඩුවට පක්ෂද විපක්ෂද? තීන්දුව ඡන්දෙන් පෙන්වන්න

එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී අනෙක් සියලු කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප - ශ්‍රී ලනිප හවුල් ආණ්ඩුවට පක්ෂද නැතිනම් විපක්ෂද යන කාරණය මත පමණක් ඡන්දය භාවිත කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිවයන ඡන්ද පෙළක ආරම්භය වනු ඇති බවද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනාධිපති, අගමැති මෙන්ම, එජාප, ශ්‍රී ලනිප සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හැසිරීමේ හා ක්‍රියාකාරකම් දැඩි විවේචනයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ අස්සනින් නිකුත් කළ නිවේදනය මෙසේය.

ජනතාව ඉදිරියට යෑමට තිබුණු බිය නිසාම ආණ්ඩුව විසින් අවුරුදු තුනකට ආසන්න කාලයකින් ප්‍රමාද කරන ලද පළාත් පාලන ඡන්දය සඳහා දැන් නාම යෝජනා භාරගෙන ඇත. පළාත් පාලන ඡන්දයක් යනු රටේ දේශපාලන බලය වෙනස් වන ඡන්දයක් නොවුවත්, මේ ඡන්දයට සුවිශේෂ වැදගත්කමක් ආරූඪ වී ඇත්තේ මෙය වත්මන් ආණ්ඩුවට විරෝධය පෑමට ඡන්ද බලය පාවිච්චි කිරීමට ජනතාවට ලැබෙන පළමු අවස්ථාව වන නිසාය. මීට කලින් ඊනියා යහපාලකයන් යටතේ පවත්වන ලද ඡන්දය වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයයි. 

ජනාධිපතිවරයා ඒ ඡන්දයෙන් එජාපය දිනවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්ද ව්‍යාපාරය අස්ථාවර කිරීමට ඡන්දයට දින කිහිපයක් තිබියදී එජනිසයට අවාසිදායක ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මහ ලේකම්වරුන් දෙදෙනාම එකවර නෙරපා හැරීම ඇතුළු ක්‍රියාමාර්ගයන් ගණනාවක් ගැනීම තුළිනි. එමඟින් ලංකාවටම යවනු ලැබූ පණිවුඩය වූයේ හැන්ද තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අතේ නිසා ඒ පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදුනත් දිනන්නේ එජාපය බවයි. 

ශ්‍රී ලනිපයේ වත්මන් නායකයා පසුගිය පාර්ලිමේන්තු ඡන්දයෙන් එජාපය දිනවූයේ ඒ ආකාරයටය. මේ වතාවේ ඒකාබද්ධ විපක්ෂය වෙනම ලකුණකින්, වෙනම සන්ධානයකින් මේ පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්නේ ඒ නිසාය. ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තුව වන්නේ ආණ්ඩු විරෝධී ජනතාවට දේශපාලන විකල්පයක් සපයා දීමයි. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ප්‍රසිද්ධියේ නොයෙක් විවේචන එල්ල කළත්, මේ දෙපාර්ශ්වයම එකම කැබිනට් මණ්ඩලයේ සිටිමින් හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කරයි.

එජාපයේ අය වැයට සෑම අවුරුද්දකම ශ්‍රී ලනිප ඇමැතිවරුන් ඡන්දය දෙනු ලැබේ. මීට දින කිහිපයකට පෙරත් ඔවුන් 2018 එජාප අය වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ හැටි මුළු රටම දුටුවේය. ජාතික සම්පත් විකුණා දැමීමේදී ද දෙපාර්ශ්වයම සහයෝගයෙන් කටයුතු කරනු පෙනේ. එජාපයෙන් පත්වූ වරාය හා නාවික කටයුතු ඇමැති හම්බන්තොට වරාය ගනුදෙනුවට විරුද්ධ වූ විට, ඔහු වෙනුවට ශ්‍රී ලනිප ඇමැතිවරයකු එම ධුරයට පත් කරගෙන එජාපය මුලපුරන ලද ඒ අවාසිදායක ගනුදෙනුව ශ්‍රී ලනිපය විසින් සම්පූර්ණ කරන ලදී. 

පසුගියදා හම්බන්තොට වරාය විදේශීය සමාගමට භාරදෙන අවස්ථාවේදී ඩොලර් මිලියන 292හි චෙක්පත බදාගෙන එජාප අගමැතිවරයා කළ රංගනයට ශ්‍රී ලනිප ඇමතිවරුත් අත්පුඩි තළන දර්ශනය මුළු රටම දුටුවේය. මේ රට ස්වාධීන රාජ්‍යයන්වලට සමාන ෆෙඩරල් ඒකක නවයකට බෙදීමේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද එජාපය සමඟ ශ්‍රී ලනිප කණ්ඩායම සහයෝගයෙන් වැඩ කරනු පෙනේ. යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලනිපය විරුද්ධ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කාරණයට පමණි. එජාපය ඉන්දියාව සමඟ ඇති කර ගැනීමට අරඅඳින එට්කා ගිවිසුමටද ශ්‍රී ලනිපය විරෝධය පා නැත. 

පළාත් පාලන ආයතනවලටත් පළාත් සභාවලටත් ඡන්ද කල් දැමීමේදී ද එජාපයත්, ආණ්ඩුවේ ශ්‍රී ලනිප කණ්ඩායමත් සහයෝගයෙන් කටයුතු කළ ආකාරය මුළු රටම දුටුවේය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට නායකත්වය දුන් රණවිරුවන් බුරුතු පිටින් සිරගත කරන විට ශ්‍රී ලනිප ජනාධිපතිවරයා එයට සහයෝගය දැක්වීම හැරුණු විට වෙන කුමක්වත් කර තිබේද?ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස රඟපෑවද, එයද යහපාලන එකතුවේ ප්‍රධාන කොටස්කරුවෙකි. මේ ආණ්ඩුවේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩවලට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය මුල සිටම ලැබී ඇත. 

ජවිපෙ නායකයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙහෙයවන යහපාලන ඇමැතිවරුන්, දේශපාලනඥයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත කමිටුවේද සාමාජිකයකු විය. ඔවුන් ඒකාබද්ධ විපක්ෂය නිර්දය ලෙස විවේචනය කරන අතර ආණ්ඩුව විවේචනය කරන්නේ ලාවටය. හවුල් ආණ්ඩුව ගෙන ඒමට යන නව ව්‍යවස්ථාවටද ජවිපෙ පක්ෂය. මේ වන විට පැවැත්විය යුතු වූ පළාත් සභා ඡන්ද නොපවත්වා සිටීමට හැකිවන පරිදි ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ දී අවශ්‍ය වූ තුනෙන් දෙකේ බහුතරය ලබා දුන්නේද ජවිපෙ විසිනි.

ඊට කලින් මේ රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයට පළාත් පාලන ඡන්ද නීතිය වෙනස් කිරීමට ද ජවිපෙ විසින් ආණ්ඩුවට සහයෝගය දක්වන ලදී. 2005 දී රනිල් වික්‍රමසිංහගේ එජාපය බලයට ඒම වැළැක්වීමට සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වය යටතේ මට සහයෝගය දුන් ජවිපෙ, වෙනත් නායකත්වයක් යටතේ අද එජාපයේ බළල් අතක් බවට පත්වී ඇත. එම නිසා එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී මේ රටේ තිබෙන එකම සැබෑ ආණ්ඩු විරෝධී බලවේගය ඒකාබද්ධ විපක්ෂය බව සියලුම ඡන්දදායකයන් අවබෝධ කරගත යුතුය.

2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිව යන ඡන්ද පෙළක ආරම්භය වනු ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය වෙනස් කරමින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහකට අඩු කරන ලදී. 19 වන සංශෝධනයේ 49(1) (ආ) වගන්තියෙන් ඒ වෙනස වත්මන් ජනාධිපතිවරයාටද බලපාන ආකාරයට ප්‍රකාශිතවම විශේෂ විධිවිධාන සලසා ඇත. එම නිසා වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 9 වන දායින් අවසන් වේ. අපේ ව්‍යවස්ථාවේ 31 (3) වගන්තියට අනුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි, මාසයකට නොඅඩු කාල පරාසයක් තුළය. 

මෙකී ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 නොවැම්බර් 9ත් දෙසැම්බර් 9ත් අතරය. 1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධානවලට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට හා නාම යෝජනා කැඳවීම වැනි කාරණාවලට අවශ්‍ය කාලයද සැලකිල්ලට ගත් විට ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය 2019 ඔක්තෝබර් මාසය වන විට ආරම්භ විය යුතු වේ. ඒ අනුව 2018 පෙබරවාරි මස පළාත් පාලන ඡන්දයත්, 2019 ඊළඟ ජනාධිපතිවරණ ක්‍රියාවලියේ ආරම්භයත් අතර ඇත්තේ මාස 18ක් වැනි කාලයකි. ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, කල්දමා ඇති පළාත් සභා ඡන්ද පැවැත්වීමටද ආණ්ඩුවට සිදුවනු ඇත. 

සබරගමුව, නැඟෙනහිර හා උතුරුමැද පළාත් සභා දැනටමත් විසුරුවා හැර තිබෙන අතර ලබන වසරේ උතුරු හා වයඹ පළාත් සභාත් ස්වයංක්‍රියව විසුරුවා හැරෙනු ඇත. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ උතුරු නැඟෙනහිරින් ලැබූ බහුතර ඡන්දයෙන් නිසා එම පළාත් දෙකේ පළාත් සභා නොමැතිව වත්මන් බලධාරීන්ට ජනාධිපතිවරණයකට මුහුණ දීමට නොහැකිය. මේ අනුව 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්දයෙන් පසු මාස ගණනක් තුළ පළාත් සභා ඡන්දයත්, ඉන් පසු තවත් මාස කිහිපයකට පසු ජනාධිපතිවරණයත් වශයෙන් ඡන්ද පෙළක් එනු ඇති බවට අපේක්ෂා කළ හැකිය. රටේ බලය ලබාගෙන මේ හවුල් ආණ්ඩුව කර ඇති වින්නැහිය ගැන අමුතුවෙන් කිව යුතු නැත. 

රට පාලනය කර ගැනීමට නොහැකි බව මේ එජාප - ශ්‍රී ලනිප ආණ්ඩුව ඇස් පනාපිට ඔප්පු කර තිබියදීත් ගමේ බලය ඔවුන් ඉල්ලා සිටින්නේ කුමකටදැයි සියලුම ඡන්දදායකයන් කල්පනා කර බැලිය යුතුය. එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී අනෙක් සියලුම කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප - ශ්‍රී ලනිප හවුල් ආණ්ඩුවට පක්ෂ ද නැති නම් විපක්ෂද යන කාරණය මත පමණක් ඡන්දය භාවිත කරන මෙන් මම මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.

-මවුබිම

No comments:

Post a Comment

Post Bottom Ad