‘හතුරු ‘ට පුහුණුකරු තනතුර සූදානම්..ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

‘හතුරු ‘ට පුහුණුකරු තනතුර සූදානම්..ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් (PHOTO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා චන්දික හතුරුසිංහ මහතා බඳවාගැනීමට ඇති හැකියාව සොයා බැලීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ තහවුරු කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, තිලංග සුමතිපාල මහතා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය  වෙත ලිපියක් යොමු කරමින්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ හතුරුසිංහ මහතා ඇති කරගෙන තිබූ සේවා ගිවිසුමෙහි වූ වගකීම් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට යටත්ව, ඒ මහතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර සඳහා බඳවා ගැනීමට ඔහුගේ නීතිඥයන් සමඟ සාකච්ඡා කරන බව දන්වා තිබූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන්ය.

සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම පත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙසේ ප්‍රකාශ කර සිටින ලදී.

“ශ්‍රී ලංකා ක්‍රිකට් හි කෙටි කාලීන හා දිගු කාලීන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා හතුරුසිංහ අපට මහත් සේ සුදුසු වනවාට කිසිම සැකයක් නෑ” “හතුරුසිංහ මහතා සහ අපගේ ඉදිරි අභිප්‍රායන් සහ අභිලාශයන් සඳහන් කරමින් මම පෞද්ගලිකව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන නස්මුල් හසන් මහතා වෙත කරුණු දන්වා යවා තිබෙනවා”

“ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට මෙම තනතුර සඳහා හතුරුසිංහ මහතා සුදුසුම පුද්ගලයා බවට විශ්වාසයක් ඇති වුණා. අපි කැමැතියි වෘත්තීයමය සහ විනිවිදභාවයකින් යුතුව ඒ මහතාව නුදුරේදීම ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ කර ගැනීමට” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා තවදුරටත් පැවසීය.

චන්දික හතුරුසිංහගේ උපදෙස් යටතේ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතරමීට ඉහත අවස්ථාවක ද පදවියෙන් ඉල්ලා අස්වීමට ඔහු උත්සාහ කළ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීහු එය භාරගැනීම ප්‍රතික්ෂේප කළහ. කලක් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් සේවය කළ චන්දික හතුරුසිංහ පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතර එහිදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද ක්‍රිකට් පුහුණුකරු ලෙසින් කටයුතු කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad