දේශපාලකයින්ට කිසිදු උපකාරයක් නැහැ - පලතුරු සුවදින් ජීවත් වෙන්නේ. අවුරුදු තුන හමාරකට වතාවක් කෑම කන්න දිව්‍ය ලෝකේ යනවා - කතරගම දෙවියන් සමඟ කතා කරන තරුණයෙක් දේව රහස් සියල්ල හෙළි කරයි...! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

දේශපාලකයින්ට කිසිදු උපකාරයක් නැහැ - පලතුරු සුවදින් ජීවත් වෙන්නේ. අවුරුදු තුන හමාරකට වතාවක් කෑම කන්න දිව්‍ය ලෝකේ යනවා - කතරගම දෙවියන් සමඟ කතා කරන තරුණයෙක් දේව රහස් සියල්ල හෙළි කරයි...!

මිනිසුන් එති, යති, මියෙති, උපදිති, නමුත් අප දන්නා කාලයේ සිට දෙවියන් මියගිය කතාවක් අසා නැත. ඉපදුණු කතාවක්ද අසා නැත. දෙවියන්ගෙන් වැඩ කර ගන්න විවිධ වූ මිනිසුන් සොයා දුක් ගැහැට කියන්නට රට පුරා පමණක් නොව මෙරටින් ඉන්දියාවට පවා යන මිනිසුන් බොහෝ වෙති. මේ සියලු දෙනා දුක කියන්නට ගියද ඔවුන් සමග කතාකළ බවක් අසා නැත. සමන් දේව අඩවිය මායිමේ හරිත කලාපයක වෙසෙන අවුරුදු 32 ක තරුණයෙකු දැනට වසරක සිට කතරගම දෙවියන් සමග සජීවිව කතාබහ කරන බවට ලැබුණු අද්භූත ආන්දෝලනාත්මක තොරතුරකට අනුව ඔහු සොයා ගිය සති අන්තපුවපත් සිදුකළ හෙළිදරව්වයි මේ.

ඔබ දෙවි කෙනෙක්ද..?
කොහෙත්ම නෑ. මම සාමාන්‍ය මනුස්සයෙක්.

නිකම්ම නිකම් මනුස්සයෙක් කතරගම දෙවියන් එක්ක කතා කරනවා කියන මහ විහිළු කතාවක්නෙ..?
අවිශ්වාසය තියෙනවා නම් විහිළුවක්. විශ්වාස කරන්න එතකොට දැනේවි. දෙවියන් ඉන්නවා කියලා.

දෙවියන් ඇති, සමහරවිට නැතුවත් ඇති. ඉන්නවා කියන්නෙත් දිව්‍ය ලෝකයේ.. ඉතින් වෙනත් ලෝකයක ඉන්න කෙනෙක් කොහොමද සන්නිවේදනය කරන්නෙ..?
ඒකට පිං කරන්න ඕන. මේ ආත්මේ නෙමෙයි ආත්ම ගාණක් තිස්සෙ පිං රැස් කරන්න ඕනේ.

ඔබේ නම මොකක්ද..? වයස..?
නම හෙළි කරන්න කැමති නැහැ. වයස 32 යි.

නම හෙළිකරන්නෙ නැත්තෙ හිතේ වංචාව තියෙන නිසාද..?
වංචාවක් කරන්න ඕන යමක් බලාපොරොත්තුවෙන්. මට වංචා කරලා ගන්න දෙයක් නෑ. මම දෙවියන් සමග කතා කරනවා. දෙවියන් මගේ ඉදිරියට වඩිනවා. වංචාවක් කරන තැනක දෙවියන් රැඳෙන්නෙ නැහැ.

මොනවද කතා කරන්නෙ..?
මම මගේ දියුණුවට අදාළ දේවල් දෙවියන් වහන්සේගෙන් විමසලා කටයුතු කරනවා. මට ඔය සාස්තර කියන කපු මහත්තුරු කියන ජාතියේ කෝවිල්, දේවාල දමාගෙන ව්‍යාපාර කරන්න උවමනාවක් නෑ. මම දෙවියන්ගෙන් දෙවියන් ගැන කරුණු විමසන එකයි කරන්නෙ.

දෙවියන් මාර්ගයෙන් හම්බකරන්නෙ නැත්නම් කොහොමද ජීවත් වෙන්නෙ..?
මට කේටරින් සර්විස් එකක් තියෙනවා. ඒක මගේ ජීවිකාවක. මම ඒකෙන් සතුටින් හොඳින් ඉන්නවා.

දෙවියන් මුණගැහිලා කොච්චර කල් වෙනවද..?
දැන් අවුරුද්දක් විතර වෙන්නෙ. 2016 අගෝස්තු 27 වැනිදා කතරගම කිරිවෙහෙර වන්දනා කරනකොට මට දෙවියන් මුලින්ම දර්ශනය වුණේ.

ඒ කොහොමද..?
මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ අඩි 30 ක ටෙන්ට් එකක් බදු දීලා. කතරගම දෙවියන් කියන්නෙ ව්‍යාපාරවලට අධිපති දෙවියන්. මගේ ව්‍යාපාරය ආරම්භ කළ දිනේ පටන් දියුණුව ලැබෙන්න කියලා මම දේවාලයට භාර වුණා. හැම අවුරුද්දෙම අපි කතරගම යනවා. ගිය අවුරුද්දෙ ගියාම තමයි මට දෙවියන් මුණගැහෙන්න වාසනාව ලැබුණෙ.

මුණගැහුනෙ කොහොමද..?
මම බිරිඳත් එක්ක කිරිවෙහෙර මළුවට ඇතුළු වෙලා ඇතුළු වුනු තැනට වම් පැත්තට වෙන්න මළුවේ සෑය වඳිමින් ඉන්නකොට මගේ ඉස්සරහට රත්තරං පාටට දිලිසෙන එළියක් එක්ක කෙනෙක් ආවා. මම එකපාර තිගැස්සුණත් බය වුණේ නැහැ. බොහොම ප්‍රසන්න කෙනෙක්. දෙවියන්වහන්සේත් එක්කම ස්වර්ණමය කියන්නෙ ඒ පාටින් මොණරෙකුත් හිටියා. උන්වහන්සේ මං ආව කාරණාවත් දැනගෙනම තමයි මට දර්ශනය වුණේ. උස අඩි හතහමාරක් විතර ඇති.

කවුද මුලින්ම කතා කළේ.. ?
උන්වහන්සේ මට කතා කළා. මගේ ගැන කියාගෙන ගියා. ඉදිරියට යහපත් බවට කරුණු පැහැදිලි කළා.

එතකොට බිරිඳ දෙවියන් දැක්කෙ නැද්ද..? වටේ මිනිස්සු..?
එතකොට වෙලාව රෑ 9 ට කිට්ටු වෙලා. මට ඒ ගැන අවධානයක් තිබුණෙ නැහැ. දෙවියන්ගෙ මම ඒ වෙලාවෙ විමසුවා අනිත් අය දකියි නේද කියලා. දෙවියන් පැවසුවා පෙර පිං බල මහිමයෙන් පමණයි දෙවියන් දිස්වන්නේ. මට තිබෙන පුණ්‍ය ශක්තිය අනුව තමයි මේ විදිහට දෙවියන් දිස්වුණේ කියන එක. මම ඇහුවා කිරිවෙහෙරට රෑට ආවොත් දෙවියන් බලන්න පුළුවන්ද කියලා. එහෙම හැමෝටම බෑ. පින තිබෙන කෙනාට දිස්වෙන බව තමයි පැවසුවේ.

කොච්චර වෙලාවක් දෙවියන් කතා කළාද..?
විනාඩි 15 ක් විතර.

ඒ වෙලාවෙ ඔබ පියවි සිහියෙන්ද සිටියෙ..?
ඔව්.

ඉන්පසු ඔබ දෙවියන් සමග කතා කරලා තිබෙනවද..?
ඔව්. මට ආසාවක් දැනුණා දෙවියන් සමග කතා කරන්න. දෙවියන් මගෙන් නික්මෙද්දි මම විමසුවා නැවත දකින්නට ලැබේවිද කියා. ඒ මොහොත සිට මට දින 45 කින් නැවත දෙවියන් දකින්නට ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය පුද පූජා කරලා දෙවියන්ට වඩින්නට හැකි පිරිසිදු වාතාවරණයක් නිර්මාණය කරන්න කිව්වා. දෙවියන්ට ආරාධනා කරන්න වෙනමම ආයාචනයක් ලබා දුන්නා.

මේ වෙනකොට දෙවියන් සමග කොපමණ කතා කර තිබෙනවද..?
පැය එකහමාරක් විතර.

මේ කතරගම දෙවියන්ම කියලා ඔප්පු කරන්නෙ කොහොමද..?
දෙවියන්ගෙන්ම විමසුවාම උන්වහන්සේ මට තමන් කතරගම දේව රාජෝත්තමයාණන්වහන්සේ බව සඳහන් කළා.  

ඔය කියන විදිහට මුහුණු සයක් අත් දොලොසක් කතරගම දෙවියටන්ට නැහැ..?
මං ඉදිරියට ආවේ එහෙම නෙමෙයි. නමුත් උන්වහන්සේට ඕනම ස්වරූපයකින් පෙනී සිටින්න හැකියාව තිබෙනවා. ආත්ම 8 ක් පසුපසට අපේ විස්තර කියන්න හැකියාව තිබෙනවා..උන්හන්සේගේ සහෝදරයා වන ගණ දෙවියන්ට ආත්ම 20 ක්, පියාණන් වන ශිව දෙවියන්ට ආත්ම 30 ක් පසුපසට යාමට විස්තර කරන්න හැකියාව තිබෙනවා. මම මගේ බිරිඳ සමග සිටින තුන්වන ආත්මය බව පවසලා තිබෙනවා.

දෙවියන් මොණරාගේ පිටේ නැගලා නෙමෙයිද එන්නෙ..?
දෙවියන් මොණරට තිබෙන කැමැත්ත නිසා ළඟ තබා ගෙන සිටින්නේ. වාහනය ලෙස මොණරා භාවිත කරන්නෙ නැහැ. දෙවියන්ට වාහන අවශ්‍ය වෙන්නෙ නැහැ. පාවෙලා ගමන් කරන්නෙ.

දෙවියන් කතා කළේ සිංහලෙන්ද..?
ඔව් සිංහලෙන්. උන්වහන්සේ දේවත්වයට පත්වෙන්න පෙර හිංදු භක්තිකයෙක් ඉන්දියාවේ හිටපු. ගෞතම බුදුරාජාණන් වහන්සේට ඇප උපන්ස්ථාන කර තිබෙනවා. ඒ පිං බලයත් සමග තමයි මේ දේවත්වයට පත්ව තිබෙන්නේ.

කතරගම දෙවියන්ගේ දෙමව්පියන් වන්නේ අග්නි දිව්‍ය පුත්‍රයා සහ පාර්වතී දේව මෑණියන් කියලා කියවෙනවා ඒක පිළිගන්නවද..?
නැහැ දෙවියන් පවසන පරිදි ඒක වැරදියි. කතරගම දෙවියන්ගේ දෙමව්පියන් වන්නේ ශිව දෙවියන් සහ උමයන්ගනා දේව මෑණියන්. එකම සහෝදරයා ගණ දෙවියන්.

ඉන්දියාවේ දෙවි කෙනෙක් ඇයි ලංකාවට එන්නෙ..?
ලංකාවේ සුන්දරත්වය නිසා ගණ දෙවියන් තමයි මුලින්ම ලංකාවට එන්නෙ. ඒ ආපු ගමන වල්ලිඅම්මා දැකලා කතරගම දෙවියන් වන එවකට ස්කන්ධ නමින් හැඳින්වූ තම අයියාට ඒ බව කියනවා. එතකොට ස්කන්ධ කුමාරයා දෙමව්පියන් වන ශිව සහ උමයංගනා දේවිය සමග ඉන්දියාවේ තිරුපතිවල වැඩ ඉඳලා තියෙන්නෙ. වල්ලි අම්මාගේ රූප සම්පත්තිය පවසලා මෙහෙට කැඳවාගෙන එන්න උත්සාහ කළාට සක්‍ර දෙවියන් වහන්සේගේ දියණියන් වූ සෙල්ල මෑණියන් සමග විවාහ වෙලා ඉඳපු නිසා කැමති වෙලා නැහැ. පෙරැත්තය නිසා මෙහෙට ඇවිත්. ජනප්‍රවාදයේ තියෙන කතාව නිවැරදියි. ඒ අනුව වල්ලිඅම්මා විවාහ කරගෙන. පසුව සෙල්ල මැණියනුත් ලංකාවට වැඩම කරලා මෙහෙම කතරගම වැඩ හිඳිනවා.

එතකොට කතරගම දෙවියන්ට චෝදනාවක් එල්ල වෙනවා මිනිස් සාමාජයෙන් දිව්‍යාංගනාවන් දෙදෙනෙක් ඉඳලත් දරුවෝ නැහැ කියලා.. ඇයි දරුවො නැත්තෙ..?
දරුවෝ ඉපදෙන්න නම් එයලාත් දේව දරුවො වෙන්න ඕනේ. ඒ කියන්නෙ කතරගම දෙවියන්ගේ පුත්‍රයා හෝ දියණිය වෙන්න සුදුසු පුණ්‍ය බල මහිමයක් තියෙන්න ඕනේ. අවුරුදු දෙදහසකට මෙපිට දිව්‍ය ලෝකයේ අලුත් උප්පත්තියක් සිදුවෙලා නැහැ. එහෙම දෙවි කෙනෙක් ලෙස උපදින්න මෙලොවින් පිං රැස් කරන අය නැහැනේ. ලෝකයේ අයහපත තමයි දැඩි වැඩි වෙමින් තිබෙන්නේ. ඒ ඇතුලෙ පිං එකතු කරන අය නැහැ. එතකොට දේව දරුවන් ලෙස බිහිවෙන්න අය නැහැ. දෙවියන් ඒ බව පැවසුවා.

එතකොට දෙමාපියන් බලන්න කතරගම දෙවියන් තිරුපති යනවද..?
මීට අවුරුදු 80 කට පෙර ශිව දෙවියන් තිරුපත් දේවාලය අතහැර නැවත දිව්‍ය විමානයට තම දේවිය සමග වැඩම කරලා තිබෙනවා. ඉන්දියාවේ පව්කම් සීඝ්‍රයෙන්  වැඩිවන විට උන්වහන්සේ ඉවත් වෙලා තිබෙනවා. දෙවියන්ට වැඩ හිඳන්න පිරිසිදු පුණ්‍ය භූමියක් අවශ්‍යයි. මනුලොව එම ස්ථාන දූෂණය වෙද්දි දෙවියන් දිව්‍ය විමානවලට වඩිනවා පෘතිවිය අතහැරලා. නමුත් තිරුපතියේ ශිව දෙවියන්ගේ බැල්ම ආශිර්වාදය තිබෙනවා.

කතරගම දෙවියන්ට පූජා කරන ඔය පලතුරු වට්ටිවල තියෙන පලතුරු අනුභව කරනවද..?
අනුභව කරනවා කියන්නෙ උන්වහන්සේලා එම පලතුරුවල සුගන්ධය තමයි ආහාරය ලෙස ගන්නෙ. මේ වෙනකොට උන්වහන්සේ අපේ ලෝකයේ වසර තුනහමාරකට වරක් ආහාර ගැනීම සඳහා දිව්‍ය ලෝකයට වැඩම කරනවා. ඒ වගේම දැන් නොඉඳුල්, සුගන්ධවත් පිරිසිදු ආහාර නොලැබෙන බව පවසලා තියෙනවා. කතරගම දවසකට පිරිසිදු පූජා වට්ටි 10 ක්වත් නොලැබෙන බව කියලා තියෙනවා. නමුත් දෙවියන් ආශිර්වාද නොකර ඉන්නෙ නැහැ. පැමිණෙන සැමට ආශිර්වාද කරනවා..

දැන් කතරගම දෙවියන් ඉපදිලා කොපමණ කල්ද..?
ලංකාවට වැඩම කරලා අවුරුදු 2000 ක් පමණ වෙනවා. හරියටම මතක නැහැ. නමුත් මට ඉදිරියේදි දෙවියන්ගෙන් විමසලා නියම කාලවකවානු කියන්න පුළුවන්.  ගණ දෙවියන් උන්වහන්සේට වඩා අවුරුදු 400 ක් බාලයි.

අන්තිමට දෙවියන්ට කතා කළේ කවදද..?
ගිය මාසේ අන්තිම සිකුරාදා.

දැන් දෙවියන්ගෙන් මොනවද කරගෙන තියෙන්නෙ..?
එහෙම කිසිම දෙයක් නැහැ. මම ගමේ මිනිස්සුන්ගේ රටේ මිනිස්සුන්ගෙ ලෙඩ හොඳ කරන්නෙ නැහැ. බලි හූනියම් කරන්න බෑ. එතකොට මම දේවාලකාරයෙක් කපුවෙක් වෙනවනෙ. මට තාම අවුරුදු 33 යි. ව්‍යාපාර දියුණු කරගෙන ජීවත් වෙනවා. අවශ්‍යතාවක් වුණොත් විතරයි දෙවියන්ට කතා කරන්නෙ. මගේ නැන්දඅම්මට තිබුණු පපුවෙ අමාරුවක් දෙවියන්ගේ උපදෙස් පතලා සම්පූර්ණයෙන් සුව කළා. ඇයටවත් මේ දේවල් පවසලා නැහැ. මිනිස්සු අපිට පිස්සු වංචාකාරයෝ කියනවානේ. තමන් පිං කළොත් තමන්ට.

දෙවි කෙනෙක් කියන්නෙ ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක්නෙ. දුක් විඳින්නෙ නැතුව එකපාර දියුණු වෙන්න පොටක් පාද ගන්න බැරිද..?
දෙවියෝ කියන්නෙ විශ්වකර්මයෙක් නෙමෙයි. මිනිස්සු කියන විදිහට ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. යම් පුණ්‍ය ශක්තියක් නිසා දිව්‍යභාවයට පත්වුණු කෙනෙක්. සියල්ල කරන්න බැහැ.

ආණ්ඩු පෙරලීම්, බලය අල්ලාගැනීම් වගේ දේවල් ගැන ඇහුවෙ නැද්ද..?
මම දේශපාලනය ගැන අහලා තියෙනවා. නමුත් දෙවියන් දේශපාලනයට එහෙම ආශිර්වාද ලබා දෙන්නෙ නැහැ. ඒ ගැන අහන්න එපා කියලා තමයි තියෙන්නෙ.

ඒ කියන්නෙ දේශපාලකයන්ට කතරගම දෙවියන්ගෙන් උදව් නෑ?
නැහැ නැහැ.

කසුන් ගනේවත්ත

No comments:

Post a Comment

Post Bottom Ad