වෙඩි පහරින් තම පියාගේ ඔඩොක්කුව මත මියගිය හතර වසර සිසුවෙකු පුනුරුප්පත්තිය කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 16, 2017

වෙඩි පහරින් තම පියාගේ ඔඩොක්කුව මත මියගිය හතර වසර සිසුවෙකු පුනුරුප්පත්තිය කියයි

“මමයි තාත්තයි ගෙදර ඉස්සරහ පුටුවෙ වාඩිවෙලා මඤ්ඤොක්කා කෑවා? හතට විතර ඇති. මිනිස්සු ඇවිත් එකපාරටම ජනේලෙන් වෙඩි තිබ්බා. මගේ පපුවට වෙඩි වැදුණා. තාත්තගෙ කකුලට වෙඩි වැදුණා. තාත්ත ඉස්පිරිතාලෙ අරන් ගියා. මම එතනම මැරුණා. තාත්තගෙ කකුල කපලා ගෙදර ආවා. මාව වළ දැම්මෙ ගෙදර ඉස්සරහ වත්තෙ. මම එතකොට රාණි අක්කලගෙ වහලය උඩ”
සිය පෙර භවය පිළිබඳව අතිශය පුදුම තොරතුරු රැසක් හෙළි කළ දරුවෙක් මීට වසර ගණනකට උඩදී පොල්ගහවෙල රෝහලේදී උපත ලැබීය. උපදින විටම එම දරුවාගේ පපුව මැද පැහැදිලි උපන් ලපයක් දක්නට තිබිණි. ඒ හා සමානවම පිට පැත්තේද තවත් උපන් ලපයක් විය. ඔහුට වසන්ත යනුවෙන් නම් තබා තිබිණි. තම දරුවාගේ මෙම උපන් ලප මගින් ඔහුගේ පෙරභවයක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමක් සිදුවනු ඇතැයි මාපියෝ නොසිතූහ. 

කුඹුරු ඉඩම් හිමිව සිටි වසන්තගේ මාපියන්ගේ වී වගාවලින් ලද වී වේලීම ගෙමිදුලේ දී නිතර සිදු කෙරිණ. වී වේලීමත් ඒවා කෙටීමට ගෙන යාමත් බොහෝ විට සිදු කරනු ලැබුවේ මව විසිනි. ඒ වන විට වසන්තට වයස අවුරුදු දෙකහමාරක් පමණ වීය. දිනක් නිවෙසේ තිබූ වී ගෝනියකට දැමූ මව එය කෙටීම සඳහා වීමෝලට ගෙන යෑමට හිසමතට ගත්තාය. එය දුටු වසන්ත,

‘‘අපේ අම්ම නම් වී කොටන්න ගෙනියන්නෙ කාර් එකේ’’ යයි කීවේය. මෙම වදනින් තිගැස්සුණු මව දරුවාගේ ප‍්‍රකාශයෙන් මවිතයට පත් වූවාය. තම පුත‍්‍රයා මෙසේ කියන්නේ ඇයි ද යන්න ප‍්‍රශ්නයක් වීය. ඒ බැව් සැමියා සමඟ ද පැවසූ ඇය කුඩා වසන්තගේ වදන පිළිබඳව සිතන්නට වූවාය.
මේ අතර තවත් දිනක් මව ඇමතූ දරුවා,

“මට එහෙ දී වෙඩි වැදුණා’’ යයි කීවේය. තම පුත‍්‍රයා කිසියම් යළි ඉපදීමක් අනාවරණ කිරීමට උත්සාහ ගන්නා බවක් මවට දැනුණි. එහෙත් ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට මාපියෝ එතරම් උනන්දුවක් නොදැක්වූහ. එහෙත් පෙරභවයේ මතක සටහන් වරින්වර හෙළි කළ වසන්ත පෙරභවයේ තොරතුරු අනාවරණය කරන්නට විය. පපුවේ පිහිටා තිබූ උපන් ලපය පෙන්වූ වසන්ත සිය මව අමතා ‘‘මේ තියෙන්නෙ වෙඩි වැදුණ තැන’’ යයි තවත් දිනක් පැවසීය. අනතුරුව ඔහු වෙඩි වැදුණ අයුරුද පැහැදිලිව හෙළි කළේය.

“එද‌ා මම තාත්තගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා මඤ්ඤොක්කා කෑවා. එතකොට තමයි වෙඩි වැදුණේ” යැයි පැවසීය. සිය පුත‍්‍රයා හෙළි කරන තොරතුරු පිළිබඳව පුංචි විමසීමක් කිරීමට මවට සිතුණි.
‘‘එතකොට පුතාගෙ නම මොකක්ද?” මව විමසුවාය.
ක්ෂණයෙන් ඊට පිළිතුරු දුන් වසන්ත,

“ෂෙල්ටන්” යයි කීවේය. “මම එතකොට ඉස්කෝලෙ හතර පන්තියේ. මම ඉස්කෝලෙ ගියේ රාණි අක්කත් එක්ක. වී කොටන මෝල තිබුණෙත් අපේ ගේ ළඟ” යයි ද වසන්ත හෙළි කළේය. මේ වන විට වසන්ත හෙළි කරන තොරතුරු ප‍්‍රදේශවාසීන්ට ද ශ‍්‍රවණය වීය. එහෙත් මාපියෝ එය යටපත් කරගෙන සිටියහ. තවත් මාස කීපයක් ගතවිය. වසන්ත හෙළි කරන තොරතුරුවලට සමානව දරුවෙකුට වෙඩි වැදී මරණය සිදු වූ පුවතක් වල්පොල ප‍්‍රදේශයෙන් ඔවුන්ට ආරංචි ලැබිණි.

එය සිදු වී තිබුණේ 1971 අප්‍රේල් කැරලි සමයේදීය. වසන්තගේ එම පෙරභව තොරතුරු පිළිබඳව ෂෙල්ටන්ගේ නිවෙසට ද ආරංචි ලැබිණි. එය ශ්‍රවනය වූ පෙරභව සොහොයුරියට තම මල්ලීගේ තොරතුරු සායා බැලීමට දැඩි ආශාවක් ඇතිවිය. කිසිවෙකුටත් නොදන්වා ඇය වසන්තගේ නිවෙසට පැමිණියාය. නිවෙස වෙත පැමිණි විගස අැය දුටු
වසන්ත: “අනේ රාණි අක්කේ”
යයි හඬනගා කතා කළේය. අනතුරුව සොයුරිය ඇමතූ වසන්ත “ඔයා දැන් හරි ලොකුයිනේ” යනුවෙන් ප‍්‍රකාශ කිරීමත් සමග ඇය පුංචි විමසීමක් කළාය.

ඔයාට මොකද වුණේ? යයි ඇය වසන්තගෙන් විමසුවාය.
රාණි අක්කා: “වෙඩි වැදුණා, කොහේටද?”
වසන්ත: ‘‘පපුවට’’ යයි සිය උපන් ලපය පෙන්වීය.
මිය ගිය සිය සොහොයුරා යළි ඉපදීමක් සිදුවී ඇතිබැව් ඇයට වැටහුණි. එය සනාතකර ගැනීමට ඇයට අවශ්‍ය වීය.
රාණි අක්කා: ‘‘මල්ලි එතකොට හිටියෙ කොහොමද?’’ යයි ඇය එවර විමසුවාය. ඇයට පිළිතුරු දුන් වසන්ත පියාගේ උකුලේ වාඩි වී සිටි බවත් ඒ අවස්ථාවේ මඤ්ඤොක්‌කා කෑ බවත් හෙළි කළේය. එම වදන ඇසුණු සොහොයුරියගේ දෙනෙතින් කඳුළු කඩාහැලෙන්නට විය. තම සොහොයුරාට වෙඩි වැදුණ වේලාවේ සිදු වූ සියල්ල නිවැරදිව ඔහු හෙළිකරන බැව් සොහොයුරියට අවබෝධ විය.

එම සිදුවීමෙන් පසු වසන්තට සිය පෙරභවයේ නිවසට යෑමට අවස්ථාව උද‌ාවිය. වසන්තට සිය පෙර භවයේ මව හඳුනා ගැනීමට හැකිවීම ද අතිවිශේෂ සිදුවීමක් විය. එය සිදුවූයේ සොහොයුරිය වසන්ත හමුවීමෙන් පසු දෙවැනි වර මව සමග පැමිණි විටදීය. ඉන් අනතුරුව වසන්ත පෙර නිවසට ගොස් එහි තිබූ ඔහුුගේ පොත් බෑගය ද සොයා ගත්තේය. එහි වූ පොත් අතරින් ෂෙල්ටන් පාසලේ දී සටහන් ලියූ පොත් අතරින් අවසන් වරට ලියූ අකුරු නිවැරදිව පෙන්වා දීමට ද එදා එම දරුවාට හැකිවිය.
මෙම පුනර්භව පරීක්ෂණය සඳහා අප වසන්ත හමුවන විට ද ඔහුට සිය පෙරභවයේ ජීවිත තොරතුරු ඉතා හොඳින් මතකයේ තිබිණි.

මාධ්‍යවේදියා: “ඔයා ඉස්සර හිටියෙ කොහේද?” යයි අපි ඔහු සමඟ කතා කළෙමු.
‘‘ඉස්සර අම්මලාගෙ දිහාවේ’’ යයි පැවසූ වසන්ත ‘‘එහෙදි මට අයියලා හිටියා. රතු අයියා, ලොකු අයියා’’ යනුවෙන් පැවසීය. ගෙදර වත්තේ වෙරළු සහ පේර ඇති බවත් පැවසූ ඔහුගෙන් මියගිය අන්දම පිළිබඳව ද අපි විමසීමක් කළෙමු.
මාධ්‍යවේදියා: “ඔයාට එහෙදි මොකද වුණේ?
වසන්ත: “මම මැරුණා.
මාධ්‍යවේදියා: “මක් වෙලාද?
වසන්ත: “වෙඩි වැදිලා.
මාධ්‍යවේදියා: “කොහේටද වෙඩි වැදුණේ?
වසන්ත: “පපුවට
මාධ්‍යවේදියා: “ඔයාට විතරද වෙඩි වැදුණෙ?
වසන්ත: “නෑ තාත්තටයි මටයි.
මාධ්‍යවේදියා: “තාත්තට වෙඩි වැදුණෙ කොහේටද?
වසන්ත: “කකුලට
මාධ්‍යවේදියා: “බෙහෙත් දැම්මෙ නැද්ද?
වසන්ත: “තාත්ත ඉස්පිරිතාලෙ අරන් ගියා.
මාධ්‍යවේදියා: “ඔයාට බෙහෙත් කළාද?
වසන්ත: “නෑ මම එතනම මැරුණා.
මාධ්‍යවේදියා: “ඊට පස්සෙ මොකද වුණේ?
වසන්ත: “වළ දැම්මා.
මාධ්‍යවේදියා: “කොහේද වළ දැම්මෙ?
වසන්ත: “මහවත්තෙ
මාධ්‍යවේදියා: “එතකොට ඔයා කොහේද?
වසන්ත: “රාණි අක්කලගෙ වහලය උඩ” යයි වසන්ත කිසිදු පැකිළීමකින් තොරව පවසන්නට විය.

වසන්ත හෙළිකළ මෙම පුනර්භව පරීක්ෂණය සඳහා ද වර්ජිනියා විශ්වවිද්‍යාලය මගින් සියුම් පර්යේෂණයක් පවත්වනු ලැබීය. එම පරීක්ෂණ මෙහෙයවනු ලැබුවේද මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසිනි. මෙම දරුවාගේ මතක සටහන් අතර තිබූ අතිශය වැදගත් කරුණු රැසක් එම පරීක්ෂණයේදී හෙළිවිය. ෂෙල්ටන්ට වෙඩි පහර එල්ල වී තිබුණේ ඔහුගේ පපුවටය. පපුවට වැදුණු වෙඩි උණ්ඩය පිට පැත්තෙන් මතු වී තිබිණි. වෙඩි පහර වැදී දරුවා මරණයට පත් වී ඇත්තේ ක්ෂණිකවය. 

එහෙත් පියාට වෙඩි පහර වැදීමෙන් පසු ඔහු රෝහල් ගත කළ බවත් කකුලක් කපා නැවත නිවසට පැමිණි බවකුත් ඔහු හෙළි කළේය. එම සිදුවීම වනවිට එම දරුවා මෙලොව හැර ගොස්ය. එහෙත් ඒ බැව් ඔහු නිවැරදිව පැවසීය. වසන්තගේ කතා පුවතේ තිබූ තවත් අතිශය පුදුම උපදවන කරුණක් වූයේ ඔහුගේ සිරුර වළ දැමූ ස්ථානය නිවැරදිව හෙළි කිරීමය. පෙර භවයේ මරණය සිදුවීමෙන් පසු සිරුර භූමිදානය කළ ස්ථානය නිවැරදිව පෙන්වා දීමට ද ඔහුට එදා හැකිවිය.

වසන්ත හමුවීමට ගිය විට දී පෙරභවයේ මව හඳුනාගත් අන්දම පිළිබඳව ද විමසීමට ඇය හමුවීමට අපට ද අවස්ථාව ලැබිණි. ඒ පිළිබඳව අප සමග ඇය කළ සාකච්ඡාව මෙසේය.”

මාධ්‍යවේදියා: “ඔබේ දරුවට වෙඩි වැදුණෙ කොහේටද?
වසන්ත ගේ මව: “පපුවට වැදුණ වෙඩිල්ල පිට පැත්තෙන් පසාවෙලා තිබුණා”
මාධ්‍යවේදියා: ‘‘ඉපදිලා සිටින වසන්තගෙ පපුව ඔබ දැක්කද?
වසන්ත ගේ මව: “ඔව්, ඒ උපන් ලප තිබුණේ වෙඩි වැදුණ තැන.”
මාධ්‍යවේදියා: “පුතා එතනම මැරුණද?
වසන්ත ගේ මව: “ඔව්”
මාධ්‍යවේදියා: “පියා මැරුණේ කොයි කාලෙ ද?
වසන්ත ගේ මව: “ඊට පස්සෙ”
මාධ්‍යවේදියා: “මුලින්ම අම්මට වසන්ත දුටු දවසෙ මොකද වුණේ?
වසන්ත ගේ මව: “වසන්ත ඇවිත් මා දිහා බලාගෙන හිටියා.”
මාධ්‍යවේදියා:  “වසන්තගෙ අම්මා ඇහැව්වද අඳුනනව ද කියලා?
වසන්ත ගේ මව: “මේ මගේ අම්මා” කියල අඳුන ගත්තා යයි පැවසූ ඇගේ දෙනෙතින් කඳුළු කඩාවැටුණි.

පුනර්භව පර්යේෂණවල දී මරණින් පසු සිදු වූ තොරතුරු අනාවරණය වීම දුර්ලභය. එවැනි දුර්ලභ කරුණු හෙළි කළ දරුවෙක් ලෙස වසන්තගේ කතා පුවත පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ. වෙඩි වැදී තම මරණය සිදු වූ ආකාරය ඉතා හොඳ මතකයකින් හෙළිකිරීමටත් වෙඩි වැදුණු ස්ථානයේ නිවැරදිව උපන් ලප පිහිටා තිබීමත් වසන්තගේ යළි ඉපදීම සනාථ කළ ප‍්‍රබල සාක්කි බවට පත්විය. උපන් ලප පෙරභවය හා සම්බන්ධ වූ පුනර්භව පර්යේෂණ ඇතුළත්ව වර්ජිනියා විශ්වවිද්‍යාලය මගින් ප‍්‍රකාශයට පත්කළ පර්​ෙ‌ය්ෂණ ග‍්‍රන්ථයකට ද වසන්තගේ කතා පුවත ඇතුළත් කර තිබේ. එය සඳහන් වී ඇත්තේ (Discrepancies Between Birthmarks and The Evidence of Reportedly Corresponding Wounds) යටතේය.

පෙරභවය හඳුනා ගැනීම් සිදුවීම පිළිබඳවද වසන්තගේ පුනර්භව සාධකය ඉතා වැදගත් පර්​ෙ‌ය්ෂණ බවට පත්විය. එම කරුණු අතර ප‍්‍රධාන තැනක් ගත් තවත් ප‍්‍රබල සාක්කි වූයේ පෙරභවයේ පොත් බෑගය සහ ඔහුගේ පාසල් පොත් හඳුනා ගැනීමය. වසන්ත විසින් හඳුනා ගැණුනු පාසල් පොත් අතර ඔහු අවසන් වරට පාසලේ දී ලියූ රචනයක අත්අකුරු ද විය. එහි දිනය සඳහන්ව ඇත්තේ එක්දස් නවසිය හැත්තෑ එකේ මාර්තු තිස්වෙනිද‌ා ලෙසය. ෂෙල්ටන්ගේ මරණය සිදුවී ඇත්තේ ඊට දින දහයකට පසුවය. වසන්ත ඉපදී ඇත්තේ පෙරභවයේ මරණය සිදු වී හරියටම මාස පහළොවකට පසුව බැව් දක්නට ලැබේ.

-තිස්ස ජයවර්ධන-

No comments:

Post a Comment

Post Bottom Ad