මුතුරාජවෙල සිට කටුනායකට ගුවන් යානා ඉන්ධන නළයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

මුතුරාජවෙල සිට කටුනායකට ගුවන් යානා ඉන්ධන නළයක්

මුතුරාජවෙල සිට කටුනායකට ගුවන් යානා ඉන්ධන නළයක්
මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන (Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේදී කඩිනම් කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

මීට පෙර මේ ඉන්ධන නළය හැමිල්ටන් ඇලට සමගාමීව නුගෙපේ බෝපිටිය හරහා පමුණුගමටත් එතැනින් මීගමුව කොළඹ මාර්ගයට සමාන්තරව කටුනායක දක්වා එලීමට තිබුණි. නළ මාර්ගය මාර්ග හරහා වැටීම නිසා එය එළීමේ කටයුතු පහසු නොවන බැවින් මෙම නළ මාර්ගය එළීමේදී වඩාත් පහසු මාර්ගයක් යොදා ගැනීමට අවධානය යොමු වූ බවත්  ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව මෙම නළ මාර්ගය එළීම සඳහා වූ හැකියාව සොයා  බැලීමට ශක්‍යතා අධ්‍යයනක් සිදු කළ බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 

ඒ අනුව අධිවේගී මාර්ගයට සමාන්තරව ගුවන් යානා ඉන්ධන නළය එළීමට මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය එකඟ වී තිබෙන බවත් අමාත්‍යවරයා කීය.ඛනිජ තෙ ල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී  මෙම කරුණු අනාවරණය විය. එහිදී ගුවන් යානා ඉන්ධන (Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. 

මෙරටදී ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම පූර්ණ වශයෙන් සිදු කරනුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විදේශ මුදල් ලැබෙන ප්‍රධානතම මාර්ගය ද එයයි.මෙරට ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇ ත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේය. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට දුම්රියෙන් එම පරිශ්‍රයට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහනය කෙරේ. ඇතැම් අවස්ථාලදී බවුසර් රථ ද ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනයට යොදා ගනී. 

කෙසේ නමුත් ඉදිරියේදී දෛනික ඉල්ලුම සැපිරීමට කොළොන්නාවේ සිට පමණක් කෙරෙන මෙහෙයුම් ප්‍රමාණවත් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිරීක්ෂණයයි. විශේෂයෙන්ම මේ වන විට ලීටර් මිලියන 1.6ක් වූ දෛනික ගුවන් යානා ඉන්ධන ඉල්ලුම 2020 වර්ෂය වන විට දිනකට ලීටර් මිලියන 2ක දක්වාද 2030 වර්ෂය  වන විට එය ලීටර් මිලියන 3යි දශම 5ක්වාද වැඩි වනු ඇතැයි ගණන් බලා ඇත. ඒ අනුව කොලොන්නාවට අමතරව මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයෙන්ද කටුනායක ගුවන් යානා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට අපේක්ෂා කෙරේ. මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන නළයක් එළීමේ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ ඒ වෙනුවෙනි. 

එහි මුල් සැලසුමට අනුව එම නළයේ සම්පූර්ණ දිග කිලෝ මීටර් 23යි දශම තුනක් විය. කෙසේ නමුත් අධිවේගී මාර්ගයට සමගාමීව එය එළීමට ගත් නව තීරණය මත එහි දිග කිලෝමීටර් 3දශම 5කින් එහි දිග අඩු වී තිබේ. වංගු ප්‍රමාණයද එහි සම්පූර්ණයෙන්ම අඩු වී ඇත. මේ හේතුවෙන් මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන පොම්ප කිරීමේදී වසරකට කිලෝවොට් පැය ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක විදුලි  බලයද ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත. මේ වන විට කටුනායක ගුවන් යානා ඉන්ධන පර්යන්තයට JIG (JOINT INSPECTION  GROUP ) අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම්හිදී හිමි ඇත්තේ Good ස්ථානයයි. 

මෙම නව ව්‍යාපෘතියක් සමඟ ඉදිරියේදී එකී ශ්‍රේණිගත කිරීම්හි Excellent  දක්වා ඉහළට යාමට හැකිවනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ඊට අමතරව ප්‍රවාහන වියදම් අඩු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් යානා ඉන්ධන මිල අඩු කර ඉන්දියාවද ඇතුළත්ව කලාපීය වශයෙන් තරගකාරී ලෙස ගුවන් යානා ඉන්ධන සැපයීමේ අවස්ථාවද ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි වනු ඇත‍. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මෙම නව තීරණයත් සමඟ මෙම ව්‍යාපෘතියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රටට ලැබෙන මූල්‍ය වාසියද විශාල වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad