ක‍්‍රිකට් තරග පාවාදීම සනාථයි.. චාමර සිල්වාට ක‍්‍රිකට් තහනම් කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

ක‍්‍රිකට් තරග පාවාදීම සනාථයි.. චාමර සිල්වාට ක‍්‍රිකට් තහනම් කෙරේ..

විෂමාචාරයෙහි යෙදීම සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාවලට පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර සංස්කෘතික කවය වැරදිකරුවන් බව පරීක්ෂණ කමිටුව තීරණය කරයි.

මෙම ක්‍රීඩා සමාජ දෙකට එරෙහිව පැවති චෝදනා විභාග කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව මෙම තීරණවලට එළැඹ තිබේ.

1. චෝදනාවට තුඩු දුන් එකී තරඟය සහ එහි ප්‍රතිඵල බල ශුන්‍ය කිරීමට සහ තරගාවලියේ ලකුණු වගුව ඒ අනුව නියමිත පරිදි වෙනස් කිරීම.


2. එකී ක්‍රීඩා සමාජවලින් තරඟ ගාස්තුව අය කර ගැනීමට සහ රුපියල් 500,000 බැගින් දඩ නියම කිරීම.


3. ක්‍රීඩා සමාජ දෙකෙහි නායකයින් වශයෙන් ක්‍රියා කල මනෝජ් දේශප්‍රිය සහ චාමර සිල්වා යන අය හට වසර 2 ක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම. (ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව.)


4. අනෙකුත් චූදිත සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් හට වසර 1 ක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීම. (ක්‍රීඩාව, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව.)
5. තරඟ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.

ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් ක්‍රීඩා සමාජ තරගාවලියේ කළුතර සංස්කෘතික කවය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය ජනවාරි මාසයේ පැවති තුන් දින අවසාන මහා තරගය පාවා දුන් බවට චෝදනා එල්ල විය. එම චෝදනාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා සති කිහිපයක් ඇතුළත වැරදිකරුවන්ට දඬුවම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මීට මාස දෙකකට ඉහතදී පැවසීය.

චෝදනාවට ලක් වී තිබෙන තුන් දින තරගයේ අවසාන දිනයේදී දෙපාර්ශවයම ඕවරයකට ලකුණු 10 කට වඩා රැස් කළ අතර, දිනයක් ඇතුළත කඩුලු 24 ක් බිඳ වැටුණු බවට චෝදනා එල්ලවිය. එදින විනාඩි 20 ක් ඇතුළත ඕවර 13 ක් පන්දු යවා තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් තරගාවලිය අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පළමු පෙළ තරගාවලියක් ලෙස පිළිගෙන තිබේ. අදාළ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට බරපතළ කළු පැල්ලමක් බව බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබුණි.

– BBC

No comments:

Post a Comment

Post Bottom Ad