අරුන්දික විපක්‌ෂයේ අසුන් ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

අරුන්දික විපක්‌ෂයේ අසුන් ගනී



ආණ්‌ඩුව පෙරළන තුරු තම සටන ඉදිරියට ගෙන යන බව පවසමින් හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‌ෂයේ සිට විපක්‌ෂයට ගොස්‌ අසුන් ගත්තේය. සභා කටයුතු ආරම්භයේදී ආණ්‌ඩු පක්‌ෂයේ සිය නියෝජ්‍ය ඇමැති ආසනයේ අසුන්ගෙන සිටි අරුන්දික ප්‍රනාන්දු මහතා තම අසුනෙන් නැගිට විශේෂ ප්‍රකාශය කළේය.

අනතුරුව මම විපක්‌ෂයට ගොස්‌ අසුන් ගන්නවා. යෑයි කියමින් කතාව අවසන් කළ අරුන්දික ප්‍රනාන්දු මහතා ආණ්‌ඩු පක්‌ෂයේ සිට සභාව හරහා ගොස්‌ විපක්‌ෂය පැත්තේ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී කණ්‌ඩායමට වෙන්කර ඇති අසුනක හිඳගත්තේ මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් හඬ මැදය.

විපක්‌ෂයේ අසුන් ගැනීමට පෙර අරුන්දික ප්‍රනාන්දු මහතා විශේෂ

ප්‍රකාශයක්‌ කරමින් මෙසේද කිවේය.

මගේ මේ පාර්ලිමේන්තු ගමනේදී රට යුද්ධයෙන් නිදහස්‌ කර ගත් නායකයා සමඟ දැවැන්ත ලෙස ඒකාත්මක වී ශක්‌තිය ලබා දුන්නා. ග්‍රාමීය සංවර්ධනයේදී එතුමාට දැවැන්ත ශක්‌තියක්‌ ලබාදුන්නා. එසේ කරද්දී ජනාධිපතිවරණය ආවා. එතුමා පරාජය වෙද්දී එතුමාව අගමැති කර රට ඉදිරියට ගෙන යන්න උත්සාහ කළා. 

අප පැරදුනේ මැතිවරණයේදී යම් යම් බලපෑම් එල්ල වූ නිසා. එතුමාට අගමැතිකම දෙන්නේ නෑ කියා බලපෑම් කළා. එතුමාට විපක්‌ෂයේ බහුතරය තියෙද්දී විපක්‌ෂ නායක කරන්න හැදුවා. ඒ අවස්‌ථාවත් නැතිවුණා. පසුව එතුමා නතර කළ තැන සිට ඉදිරියට රට සංවර්ධනය කරා ගෙන යන්නයි මා නියෝජ්‍ය ඇමැතිකම ලබා ගත්තේ. කියන්න කනගාටුයි. අමාත්‍යාංශය ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපති ලෙස සාගල රත්නායක මහතාගේ සොහොයුරු පත් කරද්දී ඒ උළෙලට මට ආරාධනාවක්‌ වත් නෑ. මේ ආණ්‌ඩුව ප්‍රතිපත්ති හදයි කියා අපි හිතුවා. 

දුප්පත්කම නැති කරන්න ව්‍යවස්‌ථාව වෙනස්‌ කරයි කියා හිතුවා. ඒත් දිනෙන් දින ආණ්‌ඩුව විනාශ කරා ගෙන ගියා. කොළඹ කේන්ද්‍ර කරගත් ධනේෂ්වර පංතිය මේ ආණ්‌ඩුව විනාශය කරා ගෙන ගියා. වංචා දූෂණ කරද්දී ආර්ථික වැඩ පිළිවෙළක්‌ නැතිව ආණ්‌ඩුව කඩා වැටුණා. සුළුවෙන් විසඳන්නට තිබූ සයිටම් ගැටලුව වැඩි කළා. ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීමේදී අපව අපහාසයට ලක්‌කළා. අවසානයේ මගේ ඇමැතිකමෙන් මාව එළියට දැම්මා. අද සිට මම විපක්‌ෂයට එනවා. මේ ආණ්‌ඩුව පෙරළන තුරු මගේ සටන ඉදිරියට ගෙන යනවා.

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad