ගෝඨාභය අගමැති වෙලා ජනාධිපතිතුමා නැවතත් ජනාධිපති වෙන්න පුළුවන්..ශ‍්‍රිලනිප ප‍්‍රබලයකුගෙන් අනාවැකියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

ගෝඨාභය අගමැති වෙලා ජනාධිපතිතුමා නැවතත් ජනාධිපති වෙන්න පුළුවන්..ශ‍්‍රිලනිප ප‍්‍රබලයකුගෙන් අනාවැකියක්

ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමැතිවරු පිරිසක්‌ ඉවත් වෙන බව මුලින්ම මාධ්‍යයට කීවේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. ඒ සම්බන්ධව ඔහු මැති ඇමැති පිරිසක්‌ සමඟ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්‌ද කළේය. අවසානයේ ඔහු ඉවත් වීමට ප්‍රථම ජනාධිපතිවරයා ඔහුව නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් නෙරපා දැමුවේය. 

ඉවත් වෙනවාය කී සෙසු පිරිස තවම ආණ්‌ඩුව ඇතුලේය. ඉවත් කළ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නැවත ජනාධිපතිවරයා මුණගැසුණේය. සමහරු කීවේ නැවතත් ඔහුට අමාත්‍යධුරයක්‌ හිමිවන බවය. මේ සිදුවන්නේ කුමක්‌ද….? මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු දිවයින ඉදිරි සංග‍්‍රහය සමග කල සාකච්ජාව..

ඔබතුමා ආණ්‌ඩුවෙන් යනවා යනවා කිව්වට යන්න කලින් ඉවත් කළා නේද?

ඉවත් කළේ යනවා කියලා කිව්වට පස්‌සෙනෙ. මම පැහැදිලිවම කිව්වා ආණ්‌ඩුවෙන් ඉවත් වෙනවා කියලා. එහෙම ආණ්‌ඩුවෙන් අයින් වෙනවා කියන්න තරම් හේතු තිබුණා.

ආණ්‌ඩුවෙන් ඉවත් වෙනවා කියලා කිව්වට ඊට කලින් ඔබව ඉවත් කරන්න බලපාපු ප්‍රබල හේතුව මොකක්‌ද?

ආණ්‌ඩුව සම්බන්ධව පොදු මහජනතාවගේ මතය එන්න එන්නම නරක අතට හැරෙනවා කියලා අපි දැක්‌කා. අපි ඒක ජනාධිපතිතුමා එක්‌කත් කතා කළා. ආණ්‌ඩුවේ ශීඝ්‍ර පිරිහීමයි. ශ්‍රී ල. නි. ප. ඇතුලෙ සමගිය ගැනයි අපි කතා කළේ. ඒක අපි මාධ්‍යයටත් කිව්වා. විස්‌ස වෙනකන් මේ ආණ්‌ඩුවත් එක්‌ක යන්න බෑ. ඉතින් මේ සිද්ධියත් එක්‌ක එළියට එන්න ඕන දැනෙන තැනකදිනෙ. අපි එළියට එන්න හිටියෙ විසිවෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ගේන දිනයේදී අයින් වෙන්න. ඒත් ඊට කලින් දෙරණ රූපවාහිනියේදී සාකච්ඡාවකදී මම කිව්ව දේ එක්‌ක සමහරුන්ට රිදිලා තියෙනවා. හැබැයි මම කතා කළේ ඇත්ත. ජනාධිපතිතුමාට ඒකත් එක්‌ක ආව බලපෑම් තමයි මේකට හේතුව.

ආණ්‌ඩු ඇතුළේ ඉඳන් ආණ්‌ඩුව විවේචනය කරපු එක හරිද?

මගේ කතාව හරියට බලපු කෙනෙක්‌ට තේරෙයි මම මොනවද කිව්වෙ කියලා. මම කතා කළේ ඇත්ත. ශ්‍රී ල. නි. ප. යේ සමගිය ගැන. මෙහෙම ගියොත් පොදු මහජනතාවගේ අප්‍රසාදයට පත්වෙන එක ගැන. ඉතින් ඒකත් එක්‌ක ඇතුලෙ ඉන්න සමහරුන්ට ඕන වුණා තමන්ගේ බලාපොරොත්තුව ක්‍රියාත්මක කරන්න. අපි එළියට දැම්මට ආයෙ ශ්‍රී ල. නි. ප. සමගි කරන්න බෑ. ආණ්‌ඩුව ඇතුලෙ ඉන්න ශ්‍රී ල. නි. ප. යේ සමහරුන්ට ඕන 2020 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකමට ගේන්න. එයාල ඒකටයි මේ වැඩ කරන්නෙ.

ආණ්‌ඩුවෙ වැඩපිළිවෙළ හොඳ නෑ කියලා ඔබතුමා කියනවා. හැබැයි ආණ්‌ඩුවෙ පාර්ශ්ව දෙකක්‌ ඉන්නවානෙ. ඔබතුමා කියන්නෙ අගමැතිවරයාගේ පාර්ශ්වයේ වැඩපිළිවෙළද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ වැඩපිළිවෙළද?

ආර්ථිකයට බලපාන ප්‍රධාන සැලසුම් සකස්‌ වන මුදල් අමාත්‍යාංශය ආර්ථික සංවර්ධන වගේ වැදගත්ම අමාත්‍යාංශ තියෙන්නෙ එක්‌සත් ජාතික පක්‌ෂ නායකයා යටතෙනෙ. අද කවුරු මොනවා කිව්වත් ආර්ථිකය දැවැන්ත අර්බුදයකට ලක්‌වෙලා තියනවා. අලුත් ව්‍යවස්‌ථාව රටේ ඒකීය භාවයට හානි කරයි කියලා දැඩි විරෝධයක්‌ තියනවා. මැතිවරණ නියමිත දිනට නොතිබීම ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ දෙයක්‌ නෙවෙයි. ඒකට මම පුද්ගලිකවම විරෝධීයි. සයිටම් ප්‍රශ්නය නිසා වසරක්‌ විතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එළියට බැහැලා අරගල කරනවා. ඒ නිසා වෛද්‍ය ක්‍ෂේත්‍රය දැඩි අර්බුදයක තියනවා. මේවා කලින් විසඳුම් දෙන්න තිබුණ ප්‍රශ්න. අනික හොරා කන එක නවත්වන්නනෙ මේ ආණ්‌ඩුව ගෙනාවේ. ඒත් දැන් මාතර, නුවර අධිවේගී මාර්ගය දික්‌ කිරීමේදී ටෙන්ඩරය ලබාගත්ත සමාගම තියෙද්දී ඒ සමාගමට තවත් සමාගමක්‌ එකතු කරලා හොරකන් කරන්න හදනවා.

ඔය කියන දේවල් නවත්ත ගන්න තිබුණේ ඔබතුමා ආණ්‌ඩුව ඇතුලෙ ඉඳන් ජනාධිපතිතුමාට ශක්‌තියක්‌ වුණා නම් නේද? ඔබතුමාලා ජනාධිපතිතුමා එක්‌ක එකතු වුණෙත් එතුමාට ශක්‌තියක්‌ වෙන්නනෙ. දැන් එළියට ඇවිත් කරන්න පුළුවන් බලපෑම අඩුයි නේද?

ඇතුලෙ ඉඳන් වසර දෙකක්‌ අපි බලපෑම් කරානෙ. වෙච්ච දෙයක්‌ නෑනෙ. සමහර දේවල් වෙනස්‌ කරගන්න පුළුවන් වුණා. අයවැය වෙනස්‌ කරන්න, වැට්‌ පනත වෙනස්‌ කරගන්න වගේ ජයග්‍රහණ. හැබැයි මේ යන විදියට ආණ්‌ඩුවෙ සමස්‌ත වැඩපිළිවෙළත් එක්‌ක තවදුරටත් හිටියොත් අපිට ඡන්දය දුන්න අපේ ගමේ ජනතාවගෙන් අපි තවදුරටත් ප්‍රතික්‌ෂේප වෙනවා. මේ ඇමැතිකම් ගත්ත එක ගැන වුණත් අපට ඡන්දය දුන්න ගමේ ජනතාවගේ එතරම් කැමැත්තක්‌ තිබුණෙ නෑ. හැබැයි ඊට පස්‌සෙත් ආණ්‌ඩුව මේ යන වැඩපිළිවෙළත් එක්‌ක තවදුරටත් හිටියොත් අපට ගමට ගිහින් මිනිස්‌සුන්ට මුහුණ දෙන්න බැරි වෙනවා.

ඔබතුමා තමයි ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න හිටපු අයගෙ මාධ්‍ය ප්‍රකාශක වගේ කටයුතු කළේ. ඒත් දැන් කෝ එළියට එන්ඩ හිටපු අනිත් අය?

ඉදිරියේදී මේ රටේ තීරණාත්මක අවස්‌ථා එනවා. පොඩ්ඩක්‌ ඉන්න…. ඉදිරියේදී විසිවැනි වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය එනවා. පළාත් සභා ඡන්දය එනවා. මේ වගේ විශේෂ අවස්‌ථාවලදී මේ අය අනිවාර්යයෙන්ම ආණ්‌ඩුවෙන් ඉවත් වෙනවා. මම දන්නවා මේ ආණ්‌ඩුවට පාඩමක්‌ උගන්වන්න කොන්ද කෙලින් තියාගෙන තීන්දු ගන්න පුළුවන් පිරිසක්‌ ඉන්නවා. ඔවුන් අනිවාර්යයෙන් එළියට එනවා. අනික අපි හැමවෙලේම හිතන්න ඕන අපිට ඉස්‌සරහින් මහජනතාව ඉන්නෙ කියලා. ඒක ඒ අයත් තේරුම් අරගෙන ඉන්නෙ. හැබැයි ඒක විතරක්‌ නෙවෙයි, මේ ආණ්‌ඩුව ඇතුලෙ එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරු පිරිසක්‌ ඉන්නවා හොඳට වැඩ කරගෙන යන. එයාලටත් මේ ක්‍රමය ගැන දැන් එපා වෙලා තියෙන්නෙ. ඔවුන් දන්නවා දැන් ආණ්‌ඩුව පාලනය කරන්නෙ කොළඹ කේන්ද්‍ර කරගත්ත කණ්‌ඩායමක්‌ කියලා.

ආණ්‌ඩුව ඇතුලෙ ඉන්න ශ්‍රී ල. නි. ප. නායකයන් ඉවත් වෙනවා කියන්නෙ ඔබතුමාගෙ පක්‌ෂයේ සභාපතිවරයා ආණ්‌ඩුව ඇතුලෙ තනි වෙනවා. ඒත් ඔබතුමා තව පැත්තකින් කියලා තිබුණා මම ශ්‍රී ල. නි. ප. යෙන් ඉවත් වෙන්නෙ නෑ කියලා.

අපි ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්නෙ ජනාධිපතිතුමාව ශක්‌තිමත් කරන්න තමයි. එතුමා ඇත්තටම තේරුම් ගන්න ඕන තවමත් ගම් මට්‌ටමින් ගමේ ජනතාවගේ ජනාධිපතිවරයා මහින්ද මහත්තයා කියන ඒක. හැබැයි මහින්ද රාජපක්‌ෂ මහත්තයා 2020 දී ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ නෑනෙ. එතුමාට ඒකට ව්‍යවස්‌ථාවෙන් ඉඩක්‌ නෑ. ඒ නිසා වර්තමාන ජනාධිපතිතුමාට 2020 දී ජනාධිපතිවරණයට ඉල්ලන්න නම් ශ්‍රී ල. නි. ප. යේ මේ දෙගොල්ල අතර සමගිය ඇති වෙන්න ඕන. ඒත් ඇතුලෙ ඉන්න ශ්‍රී ල. නි. ප. යේම කට්‌ටියක්‌ හදන්නෙ ආණ්‌ඩුව ඇතුලෙ එතුමාගෙ ළඟින්ම ඉඳන් 2020 එතුමාව ජනාධිපති කරවන්න නෙමේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවන්නයි. ඉතින් අපි මේ එළියට ගිහින් දෙන්නෙ හයිය. එතුමා හරි තීන්දු තීරණ ගන්න ඕන කියන ඒක.

ශ්‍රී. ල. නි. ප. යේ මේ දෙපිරිස එකතු වෙන්න ඕන කියලා කිව්වට මහින්ද මහත්තයත් එක්‌ක ඉන්න ශ්‍රී ල. නි. ප. යේ පිරිස අලුත් පක්‌ෂයක්‌ හදාගෙන ගෝඨාභය රාජපක්‌ෂ මහත්තයා 2020 ජනාධිපති අපේක්‌ෂකත්වයට ගේන්න සූදානම් වෙනවා. ඔබතුමා ඇතුළු පිරිස එළියට එන්නෙ මේ පක්‌ෂය සමඟ එකතු වෙන්නද?

ඒ ගොල්ලො අලුත් පක්‌ෂයක්‌ පිහිටුවන්න හේතුව පහුගිය මැතිවරණයෙන් පස්‌සෙ ඇති වුණ තත්ත්වය. ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීවරු පත් කරන කොට, අපේ ලේකම්ලා නැතිව වෙන ලේකම්ලා පත්වෙලා ඒ ලේකම්ලාට ඕන විදියට ඒවා කෙරුණෙ. කණාමැදිරි එළියටත් බයයි ගිනි පෙනෙල්ලෙන් බැට කාපු අය කියනවනෙ. ඒකයි ඒ අය පක්‌ෂයක්‌ හදාගෙන තියෙන්නෙ. හැබැයි එහෙම පක්‌ෂයක්‌ හදා ගත්තට එයාලත් ඕන මේ හැමෝම එකතු කරගන්න. ජනාධිපතිවරණය එද්දි අපි සුදුසුම අපේක්‌ෂකයා ඉදිරිපත් කරමු. ගෝඨාභය රාජපක්‌ෂ මහත්තයා ගත්තොත් ප්‍රශ්නයක්‌ නෑ. එතුමාට මිනිස්‌සු කැමැතියි. හැබැයි සුදුසුම අපේක්‌ෂකයා අපි ඉදිරිපත් කරමු. නමුත් ශ්‍රී ල. නි. ප. සමගි වෙන්න ඕන.

ඔබතුමා සුදුසුම අපේක්‌ෂකයා කියලා කියන්නෙ වර්තමාන ජනාධිපතිවරයාද ගෝඨාභය රාජපක්‌ෂ මහත්තයද?

ඔය ප්‍රශ්නයට උත්තර දීමම දෙකට බෙදීමක්‌නෙ. මම කිව්වොත් ගෝඨාභය රාජපක්‌ෂ කියලා මෛත්‍රිපාල මැතිතුමාගේ කණ්‌ඩායම විරසක වෙනවා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය කියලා කිව්වොත් ගෝඨාභය මහත්තයාගේ කණ්‌ඩායම විරසක වෙනවා. මේ වෙලාවේ විරසකයක්‌ ඕන නෑනෙ. තේරීම කරන්නෙ 2020 දී. අපි ඒක ඒ වෙලාවට කරමු. සමහර විට ගෝඨාභය මහත්තයා අගමැති වෙලා මෛත්‍රිපාල ජනාධිපතිතුමා නැවතත් ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි ඔය වෙන්ඩ තියෙන දේවල් දැන්ම කතා කිරීමම සමගියට බාධාවක්‌. ඒවා දැන්ම කතා කරලා වැඩක්‌ නෑ.

ශ්‍රී ල. නි. ප. සමගි විය යුතුයි කියලා ආණ්‌ඩුවෙන් එළියට බැස්‌සට ඔබතුමාලට ශ්‍රී ල. නි. ප. ය සමගි කරන්න වැඩපිළිවෙළක්‌ තියනවද?

මාව නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කළාට පස්‌සෙත් ජනාධිපති හමුවෙන්න මම ගියේ ඔය දේ කියන්නත් එක්‌ක තමයි. මම එතුමාට කියන්නෙ ශ්‍රී ල. නි. ප. ය සමගි විය යුතුයි. හෙට බැසිල් රාජපක්‌ෂ මහත්තයා හම්බ වුණත්, හිටපු ජනාධිපතිතුමා හම්බ වුණත් අපි කියන්නෙ ඒකමයි. ඉතින් අපිට පක්‌ෂය සමගි කරන්න බැරි වුණොත් ඒක මහ ඛේදවාචකයක් . එහෙම වුණොත් දාහත් වසරක පාලනය කවුරුත් මතකයට ගන්න එක හොඳයි.

කොහොම වුණත් ඔබතුමා ආණ්‌ඩුවෙන් ඉවත් වුණේ ඔබතුමාට එරෙහිව එෆ්. සී. අයි. ඩී. ඒකේ තියෙන පැමිණිලි ජනාධිපතිවරයා යට නොගැසීම නිසා කියලා ඔබතුමාට එරෙහිව විශාල චෝදනාවක්‌ සමාජ ජාල වෙබ් අඩවිවල තියනවාද?

නෑ…. නෑ…. ඔය කියන කිසිම පැමිණිල්ලක්‌ මා සම්බන්ධව එෆ්. සී. අයි. ඩී. එකේ නෑ. අඩුම ගානේ මා සම්බන්ධව කිසිම පොලිසියක සුළු පැමිණිල්ලක්‌වත් නෑ.

කෝටි ගණනක වාහන දෙකක්‌ ගෙන්වීමක්‌ සම්බන්ධව ඔබතුමාට එරෙහිව පැමිණිල්ලක්‌ නැද්ද?

නෑ…. නෑ…. ඒවා මට අදාළ ඒවා නෙවෙයි. ඔය කියන වාහන දෙක මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ අමාත්‍යාංශ ලේකම්වරයා නිත්‍යනුකූලව මට අරන් දුන්නු වාහන දෙකක්‌. ඒක මට ගෙදර ගෙනියන්න අරන් දුන්න වාහන දෙකක්‌ නෙවෙයි. ඒ ගොල්ලො නිත්‍යනුකූලවයි ඒ සියල්ල කරලා තියෙන්නෙ. ඒ නිසා ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක්‌ නෑ.

නැවත අමාත්‍ය ධුරයක්‌ දුන්නොත් භාරගන්නවද?

කිසිම ලාභ ප්‍රයෝජනයක්‌ තනතුරක්‌ ගන්නෙ නෑ. මෙතන ඉඳන් පැහැදිලිවම ආණ්‌ඩුව පෙරළන තැතයි, ශ්‍රී ල. නි. ප. ය සමගි කරන්න කටයුතු කරන වැඩපිළිවෙළයි සිදුකරනවා. හැබැයි මගේ ඉවත් කිරීමත් එක්‌ක මම කෝටි ගාණකට තමයි ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න කියලා මතයක්‌ ගොඩනඟන්න හැදුවා. මම කනගාටු වෙනවා කැබිනට්‌ ප්‍රකාශක වගේ තනතුරක සිටින පුද්ගලයෙක්‌ ඒ සම්බන්ධව කියපු දේට. දැන් ඒ වගේ වැදගත් තනතුරක්‌ නිකන් විහිළු සපයන තැනක්‌ බවට පත්වෙලා.

No comments:

Post a Comment

Post Bottom Ad