කතරගම දෙවියෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

කතරගම දෙවියෝ

කතරගම දෙවියෝ ගැන නොදන්නා කෙනෙක් නැත. එකම එක වතාවක් හෝ කතරගම නොගිය අයෙක් සිටිනවා නම් ඒ ද කලාතුරකිනි. රුහුණු පළාතට අධිපති දෙවියෝ කතරගම දෙවියෝය. එසේ වූවත් රට පුරා බැතිමතුන් කතරගම දෙවියන්ගෙන් පිහිට යදිති. කතරගම දෙවියන්ට මුහුණු සයකි.අත් දොළසකි.රතු පැහැති සළු හැඳ රණමයුරාසනය මත වැඩ හිඳිති. ඒ අප කතරගම දෙවියන් ගැන අසා තිබෙන හා විශ්වාස කරන ආකාරයයි.

මේ හදන්නේ ඒ තෙද බලැති දෙවියන් ගැන මෙතෙක් කතා බහට බඳුන් නොවුණු අප්‍රකට තොරතුරු හෙළි කිරීමට යි. කතරගම දෙවියෝ දහසක් නම් වලින් හැඳින්වෙන බව කියැවේ. දිවයිනේ වැඩිම දේවාල ගණනක් ඉදිවී තිබෙන්නේද කතරගම දෙවියන් වෙනුවෙනි.ලංකාවේ මුල්ම පෙරහැර ලෙස සැළකෙන්නේ කතරගම පෙරහැරයි. කතරගම පෙරහැර ආරම්භ කරන ලද්දේ දුටුගැමුණු මහරජතුමා විසින් බව පිළිගැනේ. කතරගම දෙවියන් උදෙසා රුහුණේ දේවාලයක් ඉදිකරන ලද්දේ ද දුටුගැමුණු රජු විසින් බව ජන සම්මතයේ පවතී. ඒ විජිතපුර මහා සංග්‍රාමය සඳහා පිටත්වීමට පෙර කතරගම දෙවියන්ට වූ භාරය ඔප්පු කිරීමට බවද පැවසේ.


කතරගම බුදු පා පහසින් පිවිතුරු වූ උතුම් පින් බිමකි.බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළ තුන් වන ගමනේදී කතරගමට පැමිණි බව ධාතුවංසයේ සඳහන් වේ. කතරගමට වැඩම කළ බුදුන් වහන්සේ එහි වූ කිහිරි වනයේ කිහිරි ගසක් යට සමාපත්ති සුවයෙන් වැඩ සිටි බවද සඳහන් වේ. එකී කිහිරි වනය කතරගම රාජධානිය කොට විසූ මහාසේන හෙවත් මහාඝෝෂ රජුගේ ක්‍රීඩා වනය වූ බවද එහි සඳහන් වේ.ඓතිහාසික කිරිවෙහෙර දාගැබ පිහිටා ඇත්තේ එම කිහිරිවනය පිහිටි භූමියේය.මේ ආකාරයට නොයෙක් ඓතිහාසික මූලාශ්‍ර මගින් හෙළිදරව් කරගෙන තිබෙන තොරතුරු අනුව කතරගම අනාදිමත් කාලයක පටන්ම බෞද්ධ පුණ්‍ය භූමියක්ව පැවති බව තහවුරු වේ.


ඈත අතීතයේ කතරගම ප්‍රදේශය ජනපද වලින් ඈත්ව දුරු කතරක පිහිටි පාළු ප්‍රදේශයක්ව තිබුණි. එකල අවට ජනපදයක විසූ ජන ප්‍රධානියෙකුට ධෛර්යමත්  පුතෙකු සිටියේය. මේ තරුණයා ඉතාමත් ප්‍රඥාවන්ත, විරෝධාර අයෙක් වූ අතර යහපත් රූප සම්පත්තියකින්ද යුක්ත විය.ඔහුට දේවසේනා නමින් රූමත් බිරිඳක්ද විය.තම බිරිඳ හා දෙමාපියන් සමඟ යහපත් ජීවිකාවක් ගත කළ මෙම කුමරුවාට ප්‍රතිවිරුද්ධව කටයුතු කළ අයෙක්ද විය. කුමරුවා සහ ප්‍රතිවිරුද්ධ පාර්ශවය අතර නිතර ගැටුම් ඇතිවිය. ගැටුම් අවසානයේ කුමරු ඇතුළු පිරිස අතින් ප්‍රතිවිරුද්ධ පිරිස මරණයට පත්විය. මෙම ගැටුමේදී සිදු වූ විනාශය හේතුවෙන් දැඩි සේ කම්පාවට පත් කුමරු දුර කතර ගෙවාගෙන ගොස් වනගත විය.


සැමියා ජනපදය හැර යාම හේතුවෙන් කම්පාවට පත් වූ බිරිඳ අතවැසියන් සමග කුමරු සොයා වනයට ගියාය.වනයේ සිටි කුමරු ඔවුන්ට හමු වුණු නමුත් නැවත ජනපදයට යාමට කුමරු තුළ කැමැත්තක් නොවීය. බිරිඳද කුමරු සමග වනයේ නැවතුණු අතර ඔවුන් මැණික් ගඟ අසබඩ පැලක් තනාගෙන එහි වෙසෙමින් අවට  අස්වද්දමින් ජීවත් වූහ.ඔවුන්ට දරුවෙක් ද ලැබුණි. දිනක් මැණික් ගඟ අසලින් ගමන් කරන කුමරු ඇතෙක් විසින් ලුහුබඳින තරුණියක් දුටුවේය. කුමරු ඇතා එළවා දමා තරුණිය බේරාගෙන තම නිවහනට කැඳවාගෙන ගියේය. ඇය කුමරුගේ මුල් බිරිඳ වූ දේවසේනා සමග සමගියෙන් විසුවාය. වනයේදී හමුවුණු ලිය ( වල් - ලිය) වල්ලි වූවාය. බිරින්දෑවරු දෙදෙනාට දරුවන් පස් දෙනෙක් ලැබුණි.


කුමරු තම දරු පවුලේ සහයෙන් මැණික් ගඟ අසබඩ අඩවිය ගොවි බිමක් බවට පත් කළේය. දිනක් ඈත ජනපදයක වැසියෙක් අතරමං වී ගං තෙරට පැමිණියේය.ඔහුට කුමරුගේ ගොවි බිම දකින්නට ලැබුණි.තම පුතුන්  පස් දෙනා තුරුළු කරගෙන සිටි කුමරු දුටු ගැමියා විශ්මයට පත්විය. එක සමාන මුහුණු වලින් යුතු මෙම සය දෙනා දුටු ගැමියා මේ නම් දෙවියෙක් යැයි සිතුවේය. පසුව මඟ සොයාගෙන ජනපදයට ගිය ගැමියා තමන් දුටු මුහුණු සයකින් යුතු දෙවියා ගැන සියල්ලන්ට පැවසුවේය. පසුව දහස් ගණන් ජනයා මෙම දෙවියා දැකගැනීමට කුමරු ගේ ගොවි බිම වෙත පැමිණෙන්නට විය.කුමරු ඔවුන් පිළිගෙන තමන් දෙවියෙක් නොව මනුෂ්‍යයෙක් බව වටහා දී ඔවුන්ද ඒකරාශී කරවාගෙන මාර්ග, වැව් අමුණු සාදවා කුඹුරු අස්වද්දවා මුළු රුහුණු ප්‍රදේශයම සශ්‍රික කළේය. 

ජනතාව සුඛිත මුදිත විය.ජනතා ප්‍රසාදය දිනාගත් කුමරු මහාසේන නමින් රජවිය. ජනතා සුබ සිද්ධිය පිණිස කටයුතු කළ මහාසේන හෙවත් මහාගෝෂ රජු ගේ මරණින් පසු ජනතාව එතුමන්ව දේවත්වයෙහි තබා ගෞරව කරන්නට විය. කතරක් ගමක් බවට පත් කළ හෙයින් ප්‍රදේශය කතරගම බවට පත්විය. ප්‍රදේශය සශ්‍රික කළ රජු මරණින් පසු කතරගම දෙවියන් බවට පත්විය. කතරගම දෙවියන් හින්දු භක්තිකයින්ගේ ස්කන්ධ දෙවියන් බවට පත්ව ඇත්තේ පසු කාලීනව ය. කතරගම දේවාලය ආශ්‍රිතව පවත්වනු ලබන සියලු චාරිත්‍ර, පුද පූජාවන් සියල්ල සකස්වී ඇත්තේ පුරාණ රාජකීය සම්ප්‍රදායට අනුවය. මූලික පූජා විධි සියල්ල බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව සිදුකෙරෙන අතර සෑම අවස්ථාවකදීම රත්නත්‍රයට මුල් තැන හිමිවේ. 

කතරගම දෙවියන් උදෙසා දැනට පවත්වන කාවාඩි නැටුම්, ගිනි පැගීම් ආදී හින්දු සම්ප්‍රදායානුකූල  අංග මෑත කාලයේදී එකතු වී ඇති අංගයන්ය. දුටුගැමුණු වැනි සැදැහැවත් බෞද්ධ නරපතියෙකු හින්දු දෙවියෙක් උදෙසා දේවාලයක් ඉදිකරනු ඇතැයි සිතිය නොහැක. බුදු පා පහසින් පවිත්‍ර වූ පූජනීය භූමියක හින්දු දෙවියෙක් උදෙසා පුද පූජා පැවැත්වීමට රුහුණේ ශ්‍රේෂ්ඨ වීරවරයින් පෙළඹේ යැයි ද සිතිය නොහැක. මේ අනුව කතරගම දෙවියන් අන් කවරෙක් හෝ නොව සිංහල නරපතියෙකුව සිට ජනතාවගේ ඉමහත් ගෞරව ප්‍රසාදයට ලක්ව අමරණීයත්වයට පත්වූ මහාසේන නිරිඳුන්ය.
          
ඔබට කතරගම දෙවියන්ගේ පිහිටයි.


ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
දේශමාන්‍ය සංජීව කුළුපන බණ්ඩාර 


(උපුටා ගැනීම : මන්ත්‍ර ගුරුකම් බ්ලොග් අඩවිය)

No comments:

Post a Comment

Post Bottom Ad