“සමහර අයට මේක දැනෙන්නේ නෑ“ - මෛත්‍රීගෙන් ලඟදීම විශේෂ හෙළිදරව්වක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

“සමහර අයට මේක දැනෙන්නේ නෑ“ - මෛත්‍රීගෙන් ලඟදීම විශේෂ හෙළිදරව්වක් (VIDEO)

2015 ජනවාරි 08 වනදා තමා මේ රටෙන් අවසන් කර දැමුයේ ඒකාධිපති සහ මිලිටරි පාලනයක් වන අතර එවන් පාලනයකට නැවත රට තුළ ඉඩක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෙස්මුහුණු බැඳ ගනිමින් ජනතාවට සුන්දර ලෝකයක් පෙන්වා යළිත් බලයට ඒමට ඇතැමුන් කරන කුමන්ත‍්‍රණ පිළිබඳ අද රටේ ජනතාවට අවබෝධයක් තිබෙන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඊයේ (06) පෙරවරුවේ ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

වත්මන් රජය වැඩ බැරි, අසාර්ථක රජයක් ලෙස පෙන්වා සංවර්ධනය පිළිබඳ සුරංගනා කතා කියන පිරිස එදා සංවර්ධනයට මුවා වී සිදු කළ සියලු වංචා හා දූෂණ මේ රටේ ජනතාවට හෙළි කිරීමට ඉදිරියේදී රජය සූදානම් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2015 ජනවාරි 07 වනදා එනම් ජනාධිපතිවරණයට පෙර දින කිසිදු රාජ්‍ය ආයතනයක් වැඩ නොකළ දිනක ගිං නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා කෝටි ගණනක චෙක්පතක් නිකුත් කිරීමේ සිදුවීම පිළිබඳ කළ ප‍්‍රකාශයට අභියෝග කරමින් වංචාවක් තිබේනම් හෙළි කරන ලෙස පැවසුවත් එම වංචාව පිළිබඳ කරුණු මේ වන විට තහවුරු වී තිබෙන අතර එම මුදල්වලට සිදු වුයේ කුමක්දැයි ළඟදීම ජනතාවට අනාවරණය කළහැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව දේශපාලන තීන්දු මත ඉතා දූෂිත අන්දමින් ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය රටට කර තිබෙන විනාශය ද සුළු පටු නොවන අතර ඒ පිළිබඳවද නිවැරදි තොරුතුරු මේ වන විට සිදු කෙරෙන පර්යේෂණවලින් අනාවරණය වෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

තවත් මේ රටේ ජනතාව මුලා කරන්නට උත්සාහ කරන බලලෝභී දේශපාලන කුමන්ත‍්‍රණ පරාජය කිරීමට සියලුදෙනා එක් විය යුතු බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ආණ්ඩු පෙරළන්නට නොව රටත් ජනතාවත් ඳුගී භාවයෙන් නිදහස් කර ගනිමින් පසුගිය රජය රටට උරුම කළ කෝටි ගණනක ණය බරින් රට නිදහස් කර, රට සංවර්ධනය කරා ගෙන යන්නට සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.

මාධ්‍යයට අද නිදහසේ රජය විවේචනය කිරීමටත්, ඕනෑම අයෙකුට නිදහසේ උද්ඝෝෂණ සහ පෙළපාලි යාමටත් නිදහස ලබාදීමට හැකිවීම පිළිබඳ තමා නිහතමානීව සතුටු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad