ලංකාවේ හදන ද.ආසියාවේ “උසම බිල්ඩිමේ ලොකුම බොරුව“ ගැන හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

ලංකාවේ හදන ද.ආසියාවේ “උසම බිල්ඩිමේ ලොකුම බොරුව“ ගැන හෙළිදරව්වක්

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්’ නමින් ඩොලර් බිලියන 2ක විදෙස් ආයෝජනයකින් කොළඹ ඉදිකිරීමට අත්සන් තබන ලද ගිවිසුම ලොකුම බොරුවක් බවට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පසුගිය දා ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරන ලද ඩොලර් බිලියන 2 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් බව කියැවෙන වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් පරිශ්‍රය ඉදිවන භූමිය මෙතෙක් නිශ්චය කර නොමැති බවත් එම ව්‍යාපෘතියේ විදේශීය ආයෝජකයින් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත් වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති සමාගම් රැසක එකමුතුවකින් ගොඩනැගූ ටී.යූ.ඊ වර්ල්ඩ් කැපිටල් නැමැති සමාගමක් මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය සිදු කරන බවත් ඊට අමතරව මෙම ව්‍යාපෘතිය සඳහාම මෙරට ස්ථාපිත කළ අල් අමාන් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් නැමැති ආයතනයක්ද සම්බන්ධව බවත් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

මේ අතර මෙම ගිවිසුම් ගත මුළු ව්‍යාපෘති වටිනාකම පිළිබඳව ඇත්තේ ප්‍රශ්නකාරී තත්ත්වයත් වන අතර මෙම ආයෝජන ගිවිසුම ඩොලර් බිලියන 2.4ක ආයෝජනයක් සඳහා අත්සන් කර ඇති බව ආයෝජන මණ්ඩලයේ වාර්තාවල දැක්වේ. කෙසේ වෙතත් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය සේනක සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ එම ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් බිලියන 1.2ක් බවයි.

මාස තුනක් ඇතුලත ව්‍යාපෘතිය සඳහා තෝරාගත් ඉඩම පිළිබඳ ගිවිසුමක් අත්සන් කළ යුතු බවත් මේ වසරේ දෙසැම්බර් 31වනදාට කලින් ඩොලර් මිලියන 200ක් සෘජු විදේශ ආයෝජන ලෙස ගෙන ආ යුතු බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. ඊයේ(05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ ඩොලර් බිලියන 2ක ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නේ සාකච්ඡා කර අවසන් තීන්දුවකට පැමිණි පසුව බවයි.

ව්‍යාපෘතියට ඉඩමක් නෑ...

මේ සම්බන්ධයෙන් ව්‍යපෘතියට සම්බන්ධ අදාළ ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිටින්නේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ස්ථානය තවමත් තෝරා ගෙන නොමැති බවත්, ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කරමින් පවතින බවත්ය. වැලිකඩ බන්ධනාගාරය, දෙමටගොඩ දුම්රිය නිවාස පිහිටි ඉඩම්වලින් අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, වැලිකඩ බන්ධනාගාර ඉඩමේ අක්කර 69 ක්, දෙමටගොඩ දුම්රිය නිවාස පිහිටි භූමිභාගයේ අක්කර 35 ක් හා පෑලියගොඩ අක්කර 14 ක ඉඩමක් ඇති බවත් වාර්තාවේ.

මේවායින් අදාළ ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා භූමිභාගය පසුව තීරණය කෙරෙනු ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් වැලිකඩ බන්ධනාගාරය, දෙමටගොඩ දුම්රිය නිවාස වැනි ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත්දැයි විමසූ අතර එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරය පිහිටි භූමිය වැනි වාණිජ වටිනාකම් ඇති ඉඩකඩම් පිළිබඳ එවැනි තීරණයක් රජය විසින් ගනු ලැබුවේ 2002 වසරේ දී බවයි.

කෙසේ වෙතත් මෙවැනි විශාල ව්‍යාපෘතියක් සඳහා ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කිරීමේ දී එය ක්‍රියාත්මක වන නිශ්චිත ස්ථානයක් හෝ තෝරා ගෙන නොතිබීම සහ සෘජු විදේශ අයෝජනවල වටිනාකම මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් ඇති කරවන්නකි.

Image result for world capital center

No comments:

Post a Comment

Post Bottom Ad