පුංචි ඡන්දය ප‍්‍රමාදවීම ඩෙංගු වසංගතයට හේතුවක්..- ඇමතිනී සුමේධා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

පුංචි ඡන්දය ප‍්‍රමාදවීම ඩෙංගු වසංගතයට හේතුවක්..- ඇමතිනී සුමේධා

ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිරයාමට පළාත් පාලන ආයතනවල දේශපාලන නායත්වයක් නොමැතිවීමද ප්‍රධාන කරුණක් බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ බඩල්කුඹුර ප්‍රාදේශිය සභා හිඟුරුකඩුව උප කාර්යාලය හා සතිපොළ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි. මෙම විවෘත කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණේ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමට බලපා තිබෙන හේතු මං සොයා බැලුවා. පළාත් පාලන ආයතනවලට නිසි දේශපාලන නායකත්වයක් නොමැතිවීම එහිදී එක් ප්‍රධාන කරුණක් වශයෙන් මට පෙනී ගියා. වෙනදා නොමැති තත්වයක් මොණරාගල දිස්ත්‍රික්කයෙන්ද ඩෙංගු රෝගීන් සම්බන්ධයෙන් වාර්තාවෙලා තිබෙනවා. පොදුවේ නගරවල අපිරිසිදු තත්වයන් මීට බලපා තිබෙනවා. නිසිපරිදි කසළ ඉවත් නොකිරීම නිසා මදුරුවන් බෝවන ස්ථාන වැඩිවී තිබෙනවා. මොණරාගල නගරයේ තත්වය ඒකයි.

පළාත් පාලන ආයතනවලට නිසි දේශපාලන නායකත්වයක් තිබුණා නම් අදාළ නිලධාරීන් උනන්දුවෙලා මේ කටයුතු නිසි පරිදි සිදුකරනවා. කැළිකසල ඉවත්කිරීම, මදුරුවන් බෝවන ස්ථානවලට දුම්ගැසීම, පරිසරය පිරිසිදු කිරීම, ජනතාව දැනුවත් කිරීම ඇතුළු ක්‍රියා රැසක් පළාත් පාලන ආයතනවල දේශපාලන නායකත්වයට කළ හැකියි. ඒ ප්‍රදේශවල ජනතාවගේද සහයෝගය එම දේශපාලන නායකත්වයට පහසුවෙන් ලබාගත හැකියි. 


ඊට අමතරව පළාත් පාලන ආයතනවල සේවාවන්වල ගැටළු තිබෙනවානම් දේශපාලන නායකත්වයට එය දැනුම් දී ඒවා කඩිනමින් විසඳාගැනීමේ හැකියාව මහජනතාවට තිබුණා. එම අවස්ථා මේ වනවිට නැතිවී තිබෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද වන නිසයි. පළාත් පාලන ආයතනවල නිලධාරීන් රාජකාරි කරනවා. නමුත් ඔවුන්ට නිසි උපදෙස් ලබාදීමට, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට එම ආයතනවලට නිසි දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කැළි කසළ නිසි පරිදි බැහැර නොකිරීම සිදුනොවුණොත් ඩෙංගු පමණක් නොවෙයි තවත් වසංගත රෝග පැතිරීමේ අවධානමක්ද පවතිනවා.

එම නිසා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම රටේ අවශ්‍යතාවක්. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා පසුගියදා ප්‍රකාශ කළා, පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නවා කියලා. ඒ වගේම අද විවෘත කෙරුණු මෙම ප්‍රාදේශිය සභා උපකාර්යාලයෙන් බඩල්කුඹුර ඉහළ කඳුකරයේ ගම්මාන රැසක ජනතාවට සෙත සැලසෙනවා.” යනුවෙන්ද වැඩිදුරටත් අදහස් දැක්වූ සුමේධා ජී. ජයසේ නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

හිඟුරුකඩුව, කොටමුදුන, දේවතුර, මියනකඳුර, ඇත්පට්ටිය, කන්දහේන, තැන්නේකුඹුර, උඩවාඩිය, කොස්ගොල්ල ඇතුළු ඉහළ කඳුකරයේ ගම්මාන රැසක පවුල්වලට මෙම ප්‍රාදේශිය සභා උප කාර්යාලයෙන් සෙත සැලසේ. මෙවැනි කාර්යාලයක් නොතිබූ නිසා තම සේවාවන් ඉටුකරගැනීම සඳහා කිලෝමීටර් 100 කට අධික දුරක් ගෙවා බඩල්කුඹුරට පැමිණිමට මිට පෙර මෙම ගම්මානවල ජනතාවට සිදුව තිබුණි.

මෙම ගම්මුන්ගේ දුෂ්කරතාව ගැන කඩිනමින් අවධානය යොමුකළ සුමේධා ජී. ජයසේන මහත්මිය කරනලද ඉල්ලීමකට අනුව “පුරනැගුම” වැඩසටහන යටතේ මෙය ඉදිකෙරිණි.මෙම ප්‍රාදේශිය සභා උප කාර්යාලය සහ සතිපොළ ඉදිකිරීමට වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 370 කි.

– ප‍්‍රසාද් මංජු

No comments:

Post a Comment

Post Bottom Ad