දෙසැම්බර් 31 පෙරළියක් - “ආණ්ඩුවෙන් යන්න එපා“ ජනපති තීන්දුවක් ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

දෙසැම්බර් 31 පෙරළියක් - “ආණ්ඩුවෙන් යන්න එපා“ ජනපති තීන්දුවක් ගනී

ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් තමා සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පෙරේදා (11) රාත‍්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත. කවුරුන් හෝ ආණ්ඩුවෙන් යාමට උත්සාහ කරන්නේ නම් අතින් අල්ලා නතර කිරීමේ අවශ්‍යතාවක් තමාට නැතැයි ද ජනාධිපතිවරයා එම රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමිනි.

එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු එම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇති අතර තවත් මැති ඇමැතිවරුන් පිරිසක් ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා ගන්නා තීන්දු තිරණවලට සහාය දෙමින් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවය. ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්විය නොහැකි වුවද යම් යම් සාධනීය පියවර කිහිපයක් ගැනීමට හැකිවූ බව ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවට අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් ප‍්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වුවද ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉඳිමින් ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බවය. මැති ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශවලින් අනතුරුව අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා නැවත මහ මැතිවරණයක් එන්නේ 2020 දී බැවින් ළඟ බලා තීන්දු නොගන්නැයි මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත. එබැවින් ලබන දෙසැම්බර් 31 වැනිදා වනතෙක් තමන් සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ද ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad