දුම්රිය දැක දැක ගේට්‌ටුව පැන්න සිසුන් අධිකරණයට

දුම්රිය ධාවනය වනවා දැක දැක වසා තිබූ දුම්රිය ගේට්‌ටුව හරහා යතුරු පැදි දෙකකින් ගමන් කළ පාසල් සිසුන් දෙදෙනකුට තරයේ අවවාද කළ කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය එම දෙදෙනාට රුපියල් 2000 බැගින් රුපියල් 4000 ක රජයේ ගාස්‌තු ගෙවන ලෙස 11 දා නියෝග කළාය. කළුතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි මෙම දරුවන් දෙදෙනාගේ පියවරුන්ට හෝ භාරකරුවන්ට එරෙහිව රියෑදුරු බලපත්‍ර පවා නොමැති දරුවන්ට යතුරු පැදි ලබා දීම

සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස උතුරු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලාලිත වීරසිංහ මහතාට විනිසුරුවරිය නියෝග කළාය. තමන් රාජකාරී කටයුත්තකට ගොස්‌ පැමිණ සිටියදී ශ්‍රී සුමංගල පාරේ දුම්රිය ගේට්‌ටුව වසා තිබූ බවත් දුම්රිය ළඟ ළඟ ධාවනය වන බවට විදුලි සංඥා දල්වමින් තිබියදී මෙම දරු දෙදෙනා කොළඹ සිට මාතර දක්‌වා ධාවනය වූ සාගරිකා දුම්රිය දැක දැකත් යතුරු පැදි දුම්රිය ගේට්‌ටුව හරහා ධාවනය කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් පොලිස්‌ පරීක්‍ෂක ලාලිත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම දරුවන් පාසල් සිසුන් හෙයින් දැඩි ලෙස අවවාද කර මුදා හරින ලෙස පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේය. මෙහිදී පොලිසිය ඇමතූ විනිසුරුවරිය මෙම දරුවන්ගේ මවුපියන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන ලෙස පොලිසියට නියෝග කළාය.

විජයසිරි විද්‍යාසේකර


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment