මෙහෙම ගියොත් රට අරාජික වෙනවා.. 18කට වැඩි පිරිසක් එක්ක විපක්‍ෂයට යනවා..- ඇමති TB සියල්ල හෙලි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

මෙහෙම ගියොත් රට අරාජික වෙනවා.. 18කට වැඩි පිරිසක් එක්ක විපක්‍ෂයට යනවා..- ඇමති TB සියල්ල හෙලි කරයි..

සද්ද වහගෙන හිටිය ඔබගේ එක ප්‍රකාශයකින් පසුගිය සතියම කැළඹිලා ගියා. මොකක්ද ඒ කතාව?

අපි එක්සත් ජාතික පක්ෂයත් සමඟ ගිවිසුමකට එළඹුණා. වර්තමාන ජනාධිපති අපේ පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනාවකට අනුව. ඒ අනුවයි අපි ආණ්ඩු පක්ෂයේ වගකීම් බාරගත්තේ. දැන් ඒ ගිවිසුම ලබන සැප්තැම්බරයෙන් අවසන් අපි ආපු මිනිස්සු හැටියට බැලුවා පසුගිය කාලය තුළ රට බලාපොරොත්තු වුණු දේවල් වෙලා තියෙනවද කියලා. ජනතා අපේක්ෂාවන් ඉෂ්ට වෙලාද කියලා. ඒත් පේනමානයක එහෙම දෙයක් නෑ. ඒ දේවල් සිද්ධ වුණා කියලා. දැන් බලන්න දවසින් දවස ප්‍රශ්න ගණනාවක් එනවා ආණ්ඩුවෙන් කිසිම පිළිතුරක් නෑ. උදාහාරණයක් හැටියට සියලුම භික්ෂු නිකායන් එකතුවෙලා ප්‍රකාශයක් නිකුත් කළා. කෝ එකට උත්තරයක් නෑනේ. දැන් බලන්න සයිටම් ප්‍රශ්නය. හැමදා උද්ඝෝෂණ, වෛද්‍යවරු වර්ජනය කරනවා. තවම උත්තර නෑ.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කියනවා අපි ආණ්ඩුවේ එල්ලිලා ඉන්නවා කියලා. අපි එල්ලිලා නෑ. අපි නැත්තන් ආණ්ඩුව නැතිවෙන්නත් පුළුවන්. ඒ ප්‍රකාශ අහඹු ප්‍රකාශ නෙවෙයි. සංවිධානාත්මකව කියන දේවල්. ඒ නිසයි අපි තීන්දු කළේ ගිවිසුමෙන් පස්සෙ තවදුරටත් තාන්න මාන්න වල එල්ලිලා ඉන්නෙ නෑ කියලා. කට්ටිය කියනවානේ අපි කටුකනවා අරවා මේවා කියලා. ඒ නිසා ඒ එකක්වත් අපි අහන්න ඕන කමක් නෑ. අපි ඒ අයට ආණ්ඩු කරන්න කියලා විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරු හැටියට රැඳී සිටිනවා. කාගෙවත් ඔඩොක්කුවලට වැටෙන්නෙ නෑ

ඔබ කතා කරනකොට තේරෙනවා බොහෝම කලකිරීමෙන් ඉන්නේ කියලා ආණ්ඩුව ගැන?

නෑ කලකිරෙනවා කියන වචනය අර්ථ දක්වන්න බෑ ඒකට. කලකිරෙන්න නම් අපි ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙන්න ඕන. අපිට ඕන ජනතාව එක්ක හිටගන්න පුළුවන් දේශපාලන ක්‍රමවේදයක් හදන්න. මම ඔය පාර්ලිමේන්තුවේ 77 තරග කරපු අය අතරින් එක්කෙනෙක්. ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්. ඉතින් අපි එතකොට ඈත දකින්න එපැයි. අපි ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගන්න ඕන. සාමාන්‍යයෙන් මාළුවට වතුර නැතුව ඉන්න බෑ වගේ දේශපාලනඥයට ජනතාව නැතුව ඉන්න බෑ. ඒ නිසා අපි ජනතා ඡන්දයෙන් ආපු මන්ත්‍රීවරැ හැටියට ජනතාවගේ පැත්තේ ඉන්නවා.

විශේෂයෙන් ඔබේ පක්ෂයේ පිරිස ආණ්ඩුව සමඟ ගිවිසුමකට එළඹෙන්නේ ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව. ඒ කියන්නේ ඔබලට ජනාධිපතිවරයා සම්බන්ධව විශ්වාසය බිඳවැටීමකුත් තියෙනවද?

නෑ. ජනාධිපතිතුමා මෙතෙනදී බොහෝම අසරණ භාවයට පත්වෙලා ඉන්න තත්ත්වයක් අපිට පේනවා. එතුමාට මේ තත්ත්වය පැහැදිලියි. නමුත් එතුමට ප්‍රශ්නයක් තියෙනවා එතුමව බලයට පත්කළේ අපි නෙවෙයි නිසා. අපි එතුමට ඡන්දය දීලත් නෑ වැඩ කරලත් නෑ. එතුමව බලයට ගෙනාවේ එජාපය ඇතුළේ සංවිධාන කිහිපයක්. ඒ නිසා ඔවුන්ට විරුද්ධව වැඩ කළ නොහැකි මානව හිතවාදී ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි එතුමට තියෙන ප්‍රශ්නය.

මේ තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුම්වත් කරාද?

නෑ… ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරලා ඉන්න එපැයි. අවසන් වශයෙන් නිගමනයකට එන්නේ එතුමාව දැනුම්වත් කරලා. අපි හොරෙන් ගිහිල්ලා කාගෙවත් ඔඩොක්කු වලට වැටෙන්න කැමති නෑ. ඒ නිසා ඒ කට්ටිය කතා කරලා මේ යන කාරණාවට හේතු ටිකක් හදලා අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරනවා.

කවදාවත් ආණ්ඩුවට විරැද්ධව කතා නොකළ ඔබට ඇයි මේ ප්‍රකාශය කරන්න හිතුණේ?

මෙහෙමනේ පසුගිය කාලය පුරාම ඔය ගැන කතා කරන්න ගියා නම් අපි ගිරා පෝතකයෙක් වෙනවා. ගිරා පෝතකයෙක් නොවී තීරණාත්මක මොහොතක කතා කරන්න ඕන.

ඔබ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙක් හැටියට පහළ ඉන්න මන්ත්‍රීවරු කුලප්පු කරලා මේ කරන්න යන දෙයින් ඔවුන්ගේ අනාගත දේශපාලන ගමනට හානියක් වෙන්න බැරිද?

කුලප්පු කරා කියන වචනය කිව්වොත් ඒක වැරදි අර්ථ ගැන්වීමක්. අපි ජ්‍යෙෂ්ඨයන් හැටියට පහළ ඉන්න මන්ත්‍රීවරැන්ට මඟ පෙන්වීම අපේ වගකීමක්. අපි ඒක දැකලා නිහඬ වෙලා ඉන්නවා නම් ඒක වගකීම නෙවෙයි.

මේ තීරණයට ජනාධිපතිවරයා විරුද්ධ වෙලා යන්න එපා කියලා කිව්වොත් ඉන්නවද?

මෙහෙමනේ අපි එතුමා එක්ක කතා කරන්නේ කාරණා එක්කනේ. අපි අල්ලාප සල්ලාපයේ යෙදෙන්න නෙමෙයිනේ යන්නේ. එතුමාත් අපි වගේම තරුණ කාලයේ ඉඳන් දේශපාලනය කරපු කෙනෙක්. ලද බොළඳ දේශපාලනඥයෙක් නෙවෙයි. දුක් විඳපු දේශපාලනඥයෙක්. ඒ නිසා එතුමාව නිවැරදි ලෙස දැනුම්වත් කිරීම අපේ වගකීමක්.

මේක ශ්‍රීලනිපයේ තීරණයක්ද නැත්නම් පිරිසකගේ තීරණයක්ද?

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු විදිහට අපිට මතයක් දරන්න අයිතියක් තියෙනවා. ඒ මතය දරන්න අයිතිය තියෙනකොට ඒ මතය නිවැරදි ලෙස පක්ෂයට කාන්දු කිරීම අපේ වගකීමක්. සමහර අය ඉන්න පුළුවන් තව ඉඳලා සැප පහසුකම් විඳලා 2020 වෙනකල් ඉන්න ඕන කියලා. ඒක ඒ අයගේ මතය. එහෙම නැතුව ශ්‍රීලනිපයේ මතය නෙවෙයි. 


විපක්ෂයේ අය නම් මේ ගැන කියන්නේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නයි රටේ තියෙන ප්‍රශ්නයි වෙන පැත්තකට යොමු කරන්න උත්සාහ කරන තවත් එක වැඩක් කියලා.

නෑ එහෙනම් මෙච්චර මහන්සියක් වෙන්න ඕන නෑ. අපිට අවශ්‍ය යහපත් රටක් ගොඩනගන්න.

ඔය යහපත් රටක් ගොඩ නගන්න හදන්නේ යහපාලන ආණ්ඩුව යහපත් නෑ කියන එකද?

අපි යහපාලනය උදෙසානේ එකතු වුණේ. අපි කල්පනා කරන්න ඕනේ යහපාලනයක් එක්ක එකතු වුණායින් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඊළඟට බලන්න ඕන ඇයි මේ මහ සංඝරත්නය මේ වගේ තැනකට ඇවිත් තියෙන්නේ කියලා. ඒවිතරක් නෙවෙයි බහුජන සංවිධාන බුද්ධිමතුන් පවා ප්‍රකාශ කරන තැනකට ඇවිත් තියෙනවා. එතුළින් බලන්න ඕන යහපාලන සංවිධානය කෙතරම් සාර්ථකද කියලා.

මේක මේ ග්‍රහචාරය බලලා ගත්ත තීරණයක්ද?

ග්‍රහ චාරය බලන්න වෙලාවක් ඉදිරියේදී එයි. එතකොට බලන්නම් අපි. ඒත් මේ තීරණ අරගෙන තියෙන්නේ වාස්තවික තත්ත්වයත් එක්ක. අප ජනතාවගේ හදගැස්ම අඳුරනවනේ. අපි සක්‍රීය දේශපාලනය කරන නිසා අපිට ජනතාව අත්හරින්න බෑ. අපි මේ දේශපාලනය අත් හරිනවා නම් ජනතාව අත් හැරියට කමක් නෑ. ඒත් අපිට ඕන ජනතාව ළංකරගන්න. ඒ නිසා ජනතාවගේ අරමුණු ඉෂ්ට කරන්න ඕන.

දැන් මේ කතාවේ තිරය පිටුපස ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා නේද?

නෑ…. එතුමා කිසිම බලපෑමක් සිදුකළේ නෑ අපිට. අපිත් එක්ක මේ වෙනකල් සාකච්ඡා කළෙත් නෑ. අපි මේ කරන්නේ ජනතාවගේ සිතුම් පැතුම් හා ආණ්ඩුවේ ගමන ගැන ගලපලා ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන එක. එහෙම නැතුව අරයගේ තැනට යනවද? මෙයාගෙ තැනට යනවද කියන එක නෙවෙයි.

යන්නේ නැත්නන් ස්වාධීන වෙනවා කියලා කොතනද හිටගන්නේ?

අපිට පුළුවන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න. පාර්ලිමේන්තුවට එන්නේ මන්ත්‍රීවරු වෙලානේ. ඊට පස්සෙනේ ඇමැතිවරු වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට පෙනී සිටින්න.

ඔය යන කට්ටිය කියන්නේ නම් විපක්ෂයේ හඬක් වෙන්න යන්නේ කියලා?

විපක්ෂයේ නෙමෙයි. අපි යන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට නිවැරදි කරගත හැකි පුළුවන් තැනක ඉන්න.

ඔය කොච්චර කිව්වත් අන්තිමට යන්නේ ඒකාබද්ධයට නේද?

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ වෙනත් පක්ෂයක්නේ. අපි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අය. ඒ නිසා අපි දිගටම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය හැටියට.

කට්ටිය නම් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්ව පෝයවල් දෙක පහුවෙලා නිසයි මේ යන්නේ කියලා?

අපි හැමදාම ඕක විපක්ෂයේ ඉන්නකොට කියන කතාවක්නේ. අපි අවුරුදු 17ක් පැරදිලා ඉන්න කාලේ දිගටම කිව්ව කතාවක් තමයි ඊළඟ වෙසක් පෝයට ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. 17ක් කිව්වා. ඒ නිසා ඕක දේශපාලන ලෝකයේ සටන් පාඨයක්.

කවදාහරි ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිවරයා එකඟ වුණොත්?

ඒක අපේ එක යෝජනාවක්. අපිට බහුතර බලයක් ලබාගත හැකි වන ආකාරයට මෛත්‍රි මහත්තයට හිටගන්න පුළුවන්නම් අපි ඒ ආණ්ඩුවට එනවා.

පාර්ලිමේන්තුවේ කිසිම කෙනකුට බහුතර බලයක් නෑ. දැන් ඔබලත් ඉවත් වෙනවා. ස්ථාවර ආණ්ඩුවක් නෑ. මේ ගැස්සිල්ලෙන් රට අස්ථාවර වෙනවා නේද?

මේ සියලු වැරදි වෙනකොට නිශ්ශබ්ද වෙලා ඉන්නවා නම් තමා රට අරාජික වෙන්නේ. අපිට ආණ්ඩුවක් ලෙස නිවැරදි කරන්න පුළුවන්නම් ඒකයි අපේ වගකීම.

දැන් ඔබලත් ඉවත් වුණයින් පස්සේ ශ්‍රීලනිපයට මොකද වෙන්නේ?

මෙහෙමනේ, හැමදාම ශ්‍රීලනිපය හිටියේ හරි පැත්තේ. අපි මේ කරන්නෙත් එහෙම දෙයක්. එහෙම නැතුව ශ්‍රීලනිපය දුර්වල කරන්න නෙවෙයි. අපිට ඕන ශ්‍රීලනිප ආණ්ඩුවක් හදාගන්න. ඒකට යම් යම් කණ්ඩායමක් එකතු කරගන්න පුළුවන්නම් අපි එකතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අපි එක්ක මේ ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ 225 ඉන්නේ ඊළඟ ඡන්දය පැරදිලා ගෙදර යන්න නෙවෙයිනේ. නැවත පාර්ලිමේන්තුව එන්න ඉන්නේ.

මේ ගමනට ඔබ හැර තවත් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවද?

ඔව් ඉන්නවා.

මහින්ද අමරවීර ඇමැතිවරයා කිව්වේ නම් මේක පක්ෂයේ තීරණයක් නෙමෙයි තව එහෙම කතාවකුත් නෑ කියලා?

පක්ෂයට කියන්න ඕන අපි සාකච්ඡා කරලා අවසන් තීන්දුවකට ඇවිත් අවුරැදු දෙකක් එක සමාලෝචනයක් සකසන්න ඕන. වැරදි සහ හරි දේවල් කියන්න. එතකල් අපිට අල්ලාප සල්ලාපයේ යෙදෙන්න ඕන කමක් නෑ.

එජාපයේ මන්ත්‍රීවරු කියන්නේ නම් ඔබලා ආණ්ඩුව ඇතුළේ ඩිමාන්ඩ් වෙන්න කරන වැඩක් කියලා?

අපි කැබිනට් ඇමැතිකම් දරපු අයනේ. අපි ඕවා හොඳට විඳලා තියෙනවා. අලුත් දෙයක් නෙවෙයි. අපිට අලුත් අත්දැකීම් අවශ්‍ය නෑ. අපිට අපිව ඩිමාන්ඩ් කරන්න ඕන නෑ. අපිට ඩිමාන්ඩ් කරන්න ඕන රට.

හරියටම කියන්න යන්නේ 18ක් විතරමද?

ඊට වැඩිවෙයි.

අතීතයේ ඔය වගේ වැඩකරන්න ගිහිල්ලා ෆයිල් ඇදගත්ත අය හිටියා. කරදරවලට මුහුණ පෑවා. බයක් නැද්ද?

සමහරවිට වෙන්න පුළුවන්. ඉතිහාසයේ පුරාම තියෙනවා එවැනි අනිසි බලපෑම් තර්ජන, සිරගත කිරීම්, පැහැරගෙන යාම් විවිධ දේවල් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ හැම දේකටම මුහුණ දෙන්න බලාගෙන තමයි ජනතාව වෙනුවෙන් මේ දේ කරන්නේ.

ඕක සැප්තැම්බරයේම වෙයිද?

තව මාස දෙකක් තියෙනවා. සැප්තැම්බර් මාසයෙන් ගිවිසුම ඉවර වෙනවා. ඒ මාස දෙක ඇති අපේ සමාලෝචන යෝජනා ඉදිරිපත් කරන්න. ඒ හරහා හරි තැනට ආණ්ඩුව ගෙන්න.

ඒ කියන්නේ ස්ථිර වශයෙන්ම ආණ්ඩුවෙන් යනවා?

යනවා කියන කාරණයට වඩා අපි කියන්නේ ගිවිසුම් කාලය දික් කරන්නේ නෑ කියලා. සමහරැ ඉන්න පුළුවන් සමහරැ යන්න පුළුවන්. බහුතර අදහස තියෙන්නේ නිවැරදි ජනතා තීරණයේ ඉන්න.

ගයාන් ගාල්ලගේ
– deshaya.lk

No comments:

Post a Comment

Post Bottom Ad