අන්න එහෙම අයට ආයෙත් ජීවිතේ පටන්ගන්න, තමන්ගේ වැරදි යම් තරමකට හෝ හදාගන්න කියලා දෙන සරසවිය විදියට සැලකෙන්නේ බන්ධනාගාරයි. සරල සිංහලෙන් කිව්වොත් හිර ගෙවල්. මේ වෙද්දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාලනය වෙන හිරගෙවල් 23ක් ලංකාවේ තියෙනවා. මේවයින් සමහර ඒවා බිහිවුණේ 70 දශකය තරම් මෑතකදී. හැබැයි අපේ රට බ්‍රිතාන්‍යයන් අල්ලාගෙන ඉඳපු කාලේ හදපු බන්ධනාගාරත් මේ අතරේ තියෙනවා. අපි අද කතා කරන්නේ සුද්දෝ අපට හදලා දුන්නු අන්න ඒ වගේ සිර ගෙවල් තුනක් ගැන විස්තරයි.
1. බෝගම්බර බන්ධනාගාරය

Image Source : panoramio.com
බෝගම්බර කියද්දී අපට ඇහැළේපොළ පවුලේ කතාව මතක් වෙන්නේ ඉබේටම. ඉතිහාසේ කියන විදියට, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අණින් ඇහැළේපොළ කුමාරිහාමි ව දියේ ගිල්වලා මැරුවේ ඒ කාලේ මෙතැන තිබුණු බෝගම්බර වැවේයි. ඒ වැව ගොඩ කරලා තමයි බ්‍රිතාන්‍ය ජාතිකයන් තමයි මේක හැදුවේ. ඒ 1876දී. ලංකාවේ මුල් ම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස්වරයා වුණු එන්.ආර්. සෝන්ඩර්ස් මහත්මයාගේ මූලිකත්වය මේකට ලැබුණා. තනි ෆවුන්ඩේෂන් එකක් මත, කිසිම තැනකින් වෙන් නොවී ඉදිවෙච්ච ආසියාවේ දිගම ගොඩනැගිල්ල විදියට බෝගම්බර බන්ධනාගාරය ප්‍රසිද්ධයි. සමහරු කියන විදියට මේ ගොඩනැගිල්ල හදන්න දායක කරගෙන තියෙන්නේ ප්‍රංශයේ බැස්ටයිල් බලකොටුවේ ආභාෂයයි. කොල්වින් ආර්.සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා, උතුවන්කන්දේ සරදියෙල්, සහ මරු සිරා වගේ පුද්ගලයෝ හිරබත් කෑවේ මේ හිරගෙදරයි. බෝගම්බර හිර ගෙදර ඉදිවෙන්න කලින්, බ්‍රිතාන්‍ය ජාතිකයෝ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඉස්සර “හැන්ග්ස්මන් හිල්” (Hangman's Hill) නමින් හැඳින්වෙන නුවර තියෙන පොඩි කඳු ගැටයක් මුදුනෙයි. අද වෙද්දී ඒ වෙනුවට නුවර මධ්‍යම වෙළඳපොළ හැදිලා තියෙනවා. තුන්දෙනෙක් ව එක සැරේ එල්ලලා මරන්න පුළුවන් විදියේ එල්ලුම් ගහක් මුලට ම ගොඩ නංවලා තියෙන්නෙත් බෝගම්බර ම තමයි. එල්ලා මැරීම ක්‍රියාත්මක වුණු 1876 - 1975 කාල වකවානුව ඇතුළත මේ එල්ලුම් ගහේ එල්ලපු සිරකරුවෝ ගාණ 534ක්.

Image Source : wikiwand.com
බෝගම්බර එල්ලුම්ගහට මුහුණලා තියෙන බෝ ගහ ගැනත් අපූරු කතා තියෙනවා. මිනිස්සු විශ්වාස කරන විදියට, එල්ලුම්ගහ පැත්තට බෝ අතු වැඩෙන්නේ නැහැලු. ඉඳලා හිටලා හරි හැදුණත් ඒවා ටික කාලෙකින් මැරිලා යනවලු. කොහොම වුණත්, දැන් බෝගම්බර හිරගෙදර තවත් ප්‍රදර්ශන බිල්ඩිමක් විතරයි. මේ බන්ධනාගාරයේ ඉඳපු හැම රැඳවියෙක් ම 2013 අවුරුද්දේ ඉඳන් ඉන්නේ පල්ලෙකැලේ හිරගෙදරයි.
2. මහර බන්ධනාගාරය

Image Source : janasansadaya.org
මහර හිරගෙදර හැදෙන්නේ 1875දී. ඒ කාලේ කොම්පඤ්ඤවීදියේ තිබුණ හිරගෙදර තදබදය අඩු කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේක හැදුවේ. ඒ කාලේ මේ හිරගෙයි ඉඳපු සිරකරුවෝ කොටසක් මහර තිබුණු ගල් කොරියේ ගල් කඩන්නත් යොදා ගැනුණා. මරදන්කඩවල යකඩයා, නවරියන් නොහොත් ෆැන්සිස් ෆර්නැන්ඩො, කියුටෙක්ස් පියදාස, කෑරගල සිරිසේන නොහොත් චීනා, වටරැක ජයසුන්දර, ගම්පහ මුණිදාස; මේ බන්ධනාගාරයේ හිරබත් කෑව හිරකරුවන් අතරින් කීපදෙනෙක්. 1900 අවුරුද්දේ දවසක මහර ගල් කොරියේ සිරකරුවන් සහ සේවකයන් අතරේ ඇතිවුණු කෝලාහලයක් නිසා, රැඳවියන් 79දෙනෙක් පළා ගියා. මේක වාර්තා වෙන්නේ සිරකරුවෝ ඒ තරම් ගණනක් එකවර පලා ගිය පළමු සහ එක ම අවස්ථාව විදියටයි. මේ අයගෙන් 40දෙනෙක් ආයෙත් අත්අඩංගුවට ගන්න නිලධාරීන්ට පුළුවන් වුණා. මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදියට, හිරගෙදර කාර්ය මණ්ඩලය විදියට කටයුතු කරපු සිංහල අයව අයින් කරලා, මැලේ ජාතික කණ්ඩායමකට මාරු කෙරුණා.
3. වැලිකඩ බන්ධනාගාරය

Image Source : dinamina.lk
ආසියාවේ ලොකුම ලොන්ඩරිය තියෙන්නේ ලංකාවෙලු. මේ කතාව හිරගෙවල්වලට අදාළ වෙන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ලොන්ඩරිය පිහිටලා තියෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ වීම. තමන්ගේ ම කියලා රෝහලකුත් මේ බන්ධනාගාරය සතුයි. 1840දී සුද්දා හදපු වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ වැඩබිම් 13ක් තියෙනවා. මේවා හැඳින්වෙන්නේ පාටි නමින්. වඩු පාටිය, පාන් පාටිය, රාජක පාටිය, කම්හල් පාටිය, වේවැල් පාටිය, මුද්‍රණ පාටිය; මේ ඒවායින් කීපයක්. 1925 වගේ වෙද්දී හිරගෙදර ඇතුළු සේරම රාජ්‍ය ආයතන, රෝහල්වල රෙදි හේදුනේ වැලිකඩ රාජක පාටිය හෙවත්, වැලිකඩ ලොන්ඩරියෙනුයි. මේ ගොඩනැගිල්ලට ලැබිලා තියෙන්නේ ඇමෙරිකාවෙ පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙ චල්නට් වීදියේ හිරගෙදර ආභාෂයයි. ඉස්සර වැලිකඩ බන්ධනාගාරය පාලනය කළ සුදු අධිකාරිවරයා ආවේ අශ්වයාගේ පිටෙන්. ප්‍රධාන දොරටුව ළඟ තියෙන අශ්වයා බඳින කණු අදටත් මෙතැන දැකගන්න පුළුවන්. පන්සලක්, ක්‍රිස්තියානි පල්ලියක් වගේ ම, මුස්‌ලිම් සිරකරුවන් ට ආගමික කටයුතුවල නිරත වෙන්න පුළුවන් පල්ලි වාට්ටුවකුත් මේ බන්ධනාගාරයේ දැකගන්න ලැබෙනවා. ඩී.එස්. සේනානායක, එෆ්. ආර්. සේනානායක, හෙන්රි පේදිරිස්, අනගාරික ධර්මපාල, ඩග්ලස් දේවානන්ද, සේපාල ඒකනායක වගේ ප්‍රසිද්ධ පුද්ගලයෝ රැසක් මේ හිරගෙදර යකඩ කූරු අතරේ හිරබත් කෑවා. හිරගෙවල් තිබුණත්, ඒවායින් කොච්චරක් දෙනා පුනුරුත්තාපනය වෙලා ආවත් වැඩක් නැහැ; ඒ අයව පිළිගන්න සමාජයක් නැත්තන්. සමාජයත් ඒ වෙනුවෙන් පුනුරුත්තාපනය වෙන්න ඕනේ. මේ අයට අලුතින් ජීවිතය පටන්ගන්න උදව්වක් වෙන්න පුළුවන් එහෙමයි.

No comments:
Post a Comment