ඉන්දියාව හඬවමින් පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලාන දිනති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ඉන්දියාව හඬවමින් පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලාන දිනති

පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හමුවේ ලන්ඩන් ඕවල් පිටියේදී අද (18 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු ලකුණු 180 ක ජයක් හිමිකරගත් පාකිස්තානය ශූරයන්ගේ කුසලාන දිනා ගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 339 ක ඉලක්කයක් හඹාගිය ඉන්දිය කණ්ඩායමට ඕවර 30.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණි. මොහොමඞ් අමීර් කළ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලකුණු 54 කට කඩුලු 5 ක් අහිමි කරගත් ඉන්දියාව වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ හර්දික් පාණ්ඩ්‍යා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන් ඉන්දියාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටුණි.

දැවී යන විටදී පන්දු 43 කදී හයේ පහර හයක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 76 ක් රැස්කරමින් වේගවත් පිතිහරඹයක නිරතවූ හර්දික් පාණ්ඩ්‍යා සිය දෙවැනි එක්දින අර්ධ ශතකය පන්දු 32 කදී වාර්තා කිරීමට සමත් වූයේය. රවින්ද්‍ර ජදේජා සමගින් එක්ව හත්වැනි කඩුල්ල සදහා පන්දු 57 කදී ලකුණු 80 ක සම්බන්ධතාවයක් පැවැත්වූ හර්දික් පාණ්ඩ්‍යා, ඉන්දියාවට සිදුවීමට ගිය අවනම්බුව තරමක් දුරට අඩුකිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් රැස්කිරීමට සමත් විය. මෙය පාකිස්තානු කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව එක්දින තරගයකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. පාකිස්තානුවන් ඉන්දියාවට එරෙහිව ලබාගත් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව වන්නේ 2004 දී කරච්චියේදී ලකුණු 344 ක් ලබාගැනීමයි.

ලකුණු 3 ක් ලබාසිටියදී මහේන්ද්‍ර සිං දෝනි අතට උඩපන්දුවක් ලබාදුන්නද ජස්ප්‍රීට් බුම්රා යැවූ එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිකර ගත් ෆාඛාර් සාමන් ඉන්දියානුවන්ට පාඩමක් උගන්වීමට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් සිය පළමු එක්දින ශතකය පන්දු 92 කදී වාර්තා කළේය. සමාන් දැවීයන විට පන්දු පන්දු 106 කදි හයේ පහර තුනක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 114 ක් ලබාගත්තේය.

මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී එක්දින වරම් හිමිකරගත් ෆාඛාර් සාමන් ශ්‍රී ලංකාවට (50) සහ එංගලන්තයට (57) එරෙහිවද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය. ශූරයන්ගේ කුසලාන තරගාවලියකදී පාකිස්තානය වෙනුවෙන් ශතකයක් ලබාගත් තෙවැනි පිතිකරුවා වීමටද  ෆාඛාර් සාමන් සමත්වූ අතර මීට පෙර සයීඞ් අන්වර් සහ ෂොයිබ් මලික් ශතක ලබාගෙන තිබුණි. වේගවත් පිතිහරඹයක නිරවූ ෆාඛාර් සාමන් දෙවැනි කඩුල්ල සදහා බාබර් අසාම් සමගින් එක්ව පන්දු 61 කදී ලකුණු 72 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත් වූයේය.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිය 32 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ මොහොමඞ් හෆීස් ඉනිම නිමාවන විටදී පන්දු 37 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 57 ක් ලබා සිටියේය. පස්වැනි කඩුල්ල සදහා ඉමාඞ් වසීම් සමගින් එක්ව පන්දු 45 කදී ලකුණු 71 ක් නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද මොහොමඞ් හෆීස් සමත් වූයේය.

අසාර් අලී අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන් ලකුණු 59 කට දැවි යන විට පන්දු 71 කට මුහුණදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සිය ඉනිමට එක් කරගත් ඔහු සිය 12 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 61 කදී වාර්තා කළේය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලී පන්දු යැවීමට තීරණය කළද ඉන්දිය පන්දු යවන්නන් දැඩි පහරදීමකට ලක්කරමින් පාකිස්තාන පිතිකරුවෝ ලකුණු ලබාගත්හ. කෙසේ වෙතත් ඉතා හොදින් පන්දු යැවූ බුවනේෂ් කුමාර්ගේ පළමු ඕවර 6 තුළඳී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 11 ක් පමණි. 


බුවනේෂ් කුමාර්ගේ අවසන් ඕවර 4 තුළදී කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 33 ක් ලබාගැනිමට පාකිස්තාන පිතිකරුවෝ සමත්වූහ. අයි.සී.සී. තරගාවලියකදී පාකිස්තාන ආරම්භක පිතිකරු යුගලයක් ඉන්දියාවට එරෙහිව පැවැත්වූ හොදම ලකුණු සම්බන්ධතාව වාර්තා කළ අසාර් අලී සහ ෆාඛාර් සාමන් පන්දු 138 කදී ලකුණු 128 ක් රැස්කිරීමට සමත් වුහ. 2013 වසරේදී හැර අනෙක් අවසන් මහ තරග 5 තුළදී දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වී ඇත.

ශූරයන්ගේ කුසලාන තරගාවලි හතරකදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත්වී ඇති අතර පාකිස්තානය පළමු වතාවට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට මෙවර සමත්වී ඇත. 






No comments:

Post a Comment

Post Bottom Ad