පිළියන්දල වෙඩි තැබීමට සයිකලේ පැදවූ ලොකු පැටී අත්අඩංගුවට - ඩුබායි සිට මධුෂ්ගෙන් ඕඩර් එක ලැබුණ හැටි කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

පිළියන්දල වෙඩි තැබීමට සයිකලේ පැදවූ ලොකු පැටී අත්අඩංගුවට - ඩුබායි සිට මධුෂ්ගෙන් ඕඩර් එක ලැබුණ හැටි කියයි


දෙදෙනෙකුට මරු කැඳවමින් පසුගියදා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක වැටලීම් කණ්ඩායමකට වෙඩි තබා පළාගිය පාතාල කල්ලිය සම්බන්ධ සිදු කරන පරීක්ෂණය අනුව 8 වැනි සැකකරු පෙරේදා අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත් විය.

පොළොන්නරුව මැදිරිගිරියේ අතිදුෂ්කර කැලයක සැඟවී සිටියදී මෙසේ අත්අඩංගුවට පත්වූයේ සුජීව රුවන් කුමාර ද සිල්වා (27) හෙවත් 'අහුන්ගල්ලේ ලොකු පැටී' නමැති පාතාල කල්ලි සාමාජිකයාය. ඔහු එදින පොලිසියට වෙඩිතැබූ මෝටර් සයිකලය පදවාගෙන ආ තැනැත්තා බව කියැවේ. ඔහුගේ පාපොච්චාරණය අනුව මේ වනවිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ සියලු තොරතුරු අනාවරණයවී තිබේ.

සයිකලයේ සිට වෙඩි තැබීම කරන ලද්දේ අසිත නොයෙල් කුමාර (ආමි අසිත) බවත් ඔහු ප්‍රහාරයේ තවත් ප්‍රධාන සැකකරුවෙකු වූ මොහොමඩ් නවාස්‌ නමැත්තා සමඟ කල්පිටියේ බෝට්ටුවකින් ඉන්දියාවට පළාගිය බවත් ලොකුපැටී පවසා තිබේ. මොහොමඩ් නවාස් යනු පොලිසිය නොමග යවමින් ඇමතුම් ලබාදී කුඩු විකුණන කණ්ඩායමක් අල්ලාදෙන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එම ස්ථානයට පොලිසිය ගෙන්වාගත් පුද්ගලයාය.

මෙම තිදෙනාටම මෙම ප්‍රහාරය සිදු කරන්නට උපදෙස් ලබාදී තිබෙන්නේ පාතාල නායක කඹුරුපිටියේ මධුෂ් බවත් මධුෂ් දැන් සැඟවී සිටින්නේ ඩුබායිහි බවත් ලොකුපැටී විස්තර කර ඇත. මෙම ප්‍රහාරය නිසා පොලිස්‌ කොස්‌තාපල්වරයකු සහ දොළොස්‌ හැවිරිදි දැරියක ඝාතනය වූ අතර ප්‍රධාන පොලිස් නිලධාරියෙකු වූ රංගජීව මහතා බරපතල තුවාල ලැබීය. අහුන්ගල්ලේ ලොකු පැටී අළුත්ගම ධර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහුගේ සහෝදරයා පාතාල නායක මධුෂ්ගේ ගෝලයෙකු වන අතර මනුෂ්‍ය ඝාතන සිදු කර අත්අඩංගුවට පත්වූ අයෙකි. 

ලොකු පැටීගේ රැකියාව මධුෂ් ඩුබායි සිට එවන කුඩු බද්දේගම හා ඒ අවට තරුණ පිරිස් අතරට බෙදාහැරීමයි. ඊට අමතරව ඔහු පවරන පාතාල වැඩ වලටද වරින්වර සම්බන්ධවන බව ඔහු පවසා ඇත. 27 හැවිරිදි වියෙහි පසුවන අවිවාහකයෙකු වන ලොකු පැටී ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 වැනි පාබල රෙජිමේන්තුවේ වසර දෙකක පමණ කාලයක් සේවය කර ඉකුත් වසරේදී ඉන් ඉවත් වූ අයෙකි. අනතුරුව පාතාල ක්‍රියාකාරකම් සහ හෙරොයින් ජාවාරම් කටයුතුවල නිරත වූයේ තම සොහොයුරා තමාව මධුෂ්ට හඳුන්වාදීමෙන් පසුව බව පවසා ඇත.

තමාගේ පුද්ගලික වැඩකට රුපියල් ලක්ෂ දෙකහමාරක් මධුෂ්ගෙන් ණයට ලබාගෙන තිබුණ බව කියන ලොකු පැටී එම මුදල පියවන්නට හිලව්වක් ලෙස පිළියන්දල ප්‍රහාරයට සම්බන්ධවූ ව කියා ඇත. ඔහු පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පිළියන්දල ප්‍රහාරයට තමන් යනතුරු එය පොලිස්‌ නිලධාරීන් ඉලක්‌ක කර සිදුකරන ප්‍රහාරයක්‌ බව දැන නොසිටි බවයි. ‘මධුෂ් එදා ඩුබායි වල ඉඳන් දිගටම කථා කරා. මට කෙනෙක් බයිසිකලයක් ගෙනැල්ල දෙයි මට එතැනට යන්න කිවා.මං ගියා. ඒ කිව්ව විදිහටම බයිසිකලේ අරන් කෙනෙක් ආවා. 

ඒ එක්කම ආයුධ සන්නද්ධව ආමි අසිතත් බයිසිකලේට නැග්ග. අපට යන්න ඕන තැන දැනුවත් කරනවා කිව්වා. ටිකකින් කතාකරල කිව්වා පිළියන්දලට දැන් යන්න කියලා. තවත් ටිකකින් රංගජීවලගෙ අල්ටො එක නවත්තල තියෙන්නෙ මහජන බැංකුව ගාව කියල එතැන්ට යන්න කිව්වා. මං කිව්ව විදිහටම ගියා. වෙඩි තැබීමට ඉල්ලකය වුනේ රංගජීව ආමි අසිත වෙඩි තැබීම කරා. පස්සෙ අපි පැනල ගියා.‘ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ලොකු පැටී  මුලින්ම අහුන්ගල්ලේ සැඟවී සිටි බවත් පසුව ඉංගිරියටත් එතැනින් පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයටත් පලාගොස්‌ තිබිණි.

මහ කැලෑවේ කෙළවරක පිහිටි අප්‍රකට නිවෙසක අහුංගල්ලේ ලොකු පැටී සැඟව සිටි බවට ලද තොරතුරු මත මිරිහාන විශේෂ විමර්ශන ජයන්ත පෙරේරා ඇතුළු පොලිස් කණ්ඩායම ඉතා සූක්ෂ්ම ලෙස නිවෙස වට කර ලොකු පැටී අල්ලාගෙන තිබුනේ පෙරේදාය.  දැවැන්ත පොලිස් මෙහෙයුම දියත් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සහ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ සෘජු අධීක්ෂණය යටතේය. සිවිල් ඇඳුමින් සැරැසී සිටි පොලිස් කණ්ඩායම ආයුධ සන්නද්ධව නිවෙස තුළට කඩා පනිනවාත් සමඟම පාතාල නායක ලොකු පැටීට කර කියා ගැනීමට කිසිවක් නොමැති විය.

දෙඅත්වලට විලංගු වැටුණු අහුංගල්ලේ ලොකු පැටී කුදලා ගත් පොලිස් කණ්ඩායම එදින රාත්‍රියේම කොළඹට රැගෙන ආවේය.ඔහු අල්ලාගන්නා අවස්ථාවේත් ඔහු ළඟ හොරොයින් ග්‍රෑම් 10 ක්ද තිබී හසු විය. පොලිසිය එක් අභියෝගයක් මේ වනවිට ජයගෙන තිබේ. ඔවුන්ගේ ඊළඟ අති දැවැන්ත අභියෝගය වන්නේ රටටම වින කරන මාකඳුරේ මධූෂ් නමැති පාතාල මිනීමරුවා අත්අඩංගුවට ගැනීමය. විදේශයන්හි සැඟවී සිටින ඔහුත් ඔහුගේ ගෝලබාලයනුත් නීතියේ රැහැනට හසුකරගැනීමය.

No comments:

Post a Comment

Post Bottom Ad