හමුදාවට කුණු අදින්න කී රාජිතට හමුදාවෙන් පිලිතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

හමුදාවට කුණු අදින්න කී රාජිතට හමුදාවෙන් පිලිතුරක්

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමේ කටයුතු සදහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශක් කර තිබේ.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

"2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 63,987 ක් වාර්තා වී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 200 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවට වඩා සංවර්ධනය වී ඇති ඇමරිකාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලත් ඩෙංගු රෝගය පැතිර යනවා. නාගරීකරණයත් ඩෙංගු රෝගය පැතිරයාමට බලපා ඇති තවත් හේතුවක් වෙනවා. ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා 2016 වසරේ දී ධූමායන යන්ත්‍ර 500 ක් ද, 2017 වසරේ දී ධූමායන යන්ත්‍ර 175 ක් ද බෙදා දි තිබෙනවා. 

මදුරු මර්දන සහායකයින් 412 ක් මේ වනවිට බදවා ගෙන ඇති අතර, ඩෙංගු මදුරු කීටයින් හමුවන ස්ථානවලින් අය කරන දඩ මුදල ද ඉහළ දමා තිඛෙනවා. කසල ප්‍රශ්ණය කළමණාකරණය කිරිම මෙහිදී ඉතාම වැදගත්. ඒ සදහා ජනාධිපතිවරයා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්. ගංවතුර හේතුවෙන් ඩෙංගු වසංගතය වැඩිවී තිබෙනවා. ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් දරුණු විය හැකියි. ත්‍රිවිධ හමුදාව යොදවා කැළිකසල ඉවත් කිරීමට පියවර ගත යුතු බව මම ජනාධිපතිවරයාට යෝජනා කළා.”

හමුදාව කුණු අදින්නේ නෑ..

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසූයේ කැළි කසළ ඉවත් කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට කටයුතු නොකරන බවයි. රට තුළ උද්ගත වී ඇති ඩෙංගු වසංගත තත්ත්වයත් සමඟ එය මර්දනය කිරීම සඳහා යුද හමුදාව පළාත් පාලන ආයතනවලට සහාය ලබා දෙන බව පෙන්වා දුන් බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා එහිදී යුද හමුදාව ප්‍රදේශයන් නිරීක්ෂණය කරමින් කුණු තිබෙන ස්ථාන හඳුනාගෙන අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමේ කටයුත්තේ පමණක් නිරත වී සිටින බවද කියා සිටියේය.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් යුද හමුදා කර්නල්වරයකුගේ නායකත්වය මත ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බළඇණි හයක් මෙම කටයුතුවලට යොදවා ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad