''ආණ්ඩුව ඇලෝසියස්ගේ තැබෑරුමට වාසි සලසනවා'' - ජවිපෙ

හිඟුරාන සීනි කම්හලේ එතනෝල් නිෂ්පාදනයට මෙතෙක් බලපත්‍රය නොදී සිටින්නේ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් අම්පාරේ පටන් ගත් මත්පැන් නිෂ්පාදනාගාරයට වාසි සැලසීමට දැයි සාධාරණ සැකයක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මීට මාස 8කට පෙර ආරම්භ කළ හිඟුරාන සීනි කම්හලේ එතනෝල් නිෂ්පාදනයට තවම බලපත්‍ර ලබා නොදීමට එරෙහිව මැදිහත්ව සිටින්නේ ඇමැති රවී කරුණානායක මහතා බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. වැවිලි සමාගමක් සතුව පවතින එම සීනි කර්මාන්ත ශාලාවේ උක්වලින් සීනි ඇඹරීමේදී ලැබෙන මොලෑසස් මඟින් එතනෝල් පෙරීමේ ක්‍රියාවලියට බලපත්‍රය නොදීමෙන් දිනකට රුපියල් කෝටියක ආදායමක් අහිමිවන බවත් ජවිපෙ නායකයා පවසයි.


මන්ත්‍රිවරයා පැවැසුවේ පෞද්ගලික සීනි කම්හලකට බලපත්‍ර ලබාදීමත්, වැවිලි සමාගමට අයත් කම්හලකට බලපත්‍ර ලබා නොදීමත් අතර බරපතළ සැකයක් මතුවන බවයි. හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට අනුබද්ධව ඉදිකළ අම්පාර මත්පැන් නිෂ්පාදනාගාරයට ඉහත කී එතනෝල් අඩු මිලට ලබාදීමේ ක්‍රියාවලියක් මේ පිටුපස ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

විගණකාධිපති කිවත් වැඩක් වෙලා නැහැ :

හිඟුරාන සීනි කර්මාන්තායතනය අපේක්ෂා කළ පරිදි එතනෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සුරාබදු සහතිකය නිකුත් කර නොමැති බැවින් එම සමාගමේ අලාභය දිනපතා වර්ධනය වෙමින් ඇති බවත් ඊට පිළියමක් ලෙස නොපමාව සුරාබදු සහතිකය ලබාගෙන එතනෝල් නිෂ්පාදනය ආරම්භ කළ යුතු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව එම සමාගමට දැනුම් දී ඇතැයි වාර්තා වේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ හිඟුරාන සීනි කර්මාන්තායතනයේ කළමනාකාරීත්වය දරන ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගමේ 2016 කාර්ය සාධන විගණනය සිදු කිරීමෙන් අනතුරුවය.


srilankamirror.com

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment