තැපැල් වර්ජකයින්ට ඇමැතිවරයකුගෙන් තර්ජන - ආණ්ඩුවේ තීරණයේ වෙනසක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

තැපැල් වර්ජකයින්ට ඇමැතිවරයකුගෙන් තර්ජන - ආණ්ඩුවේ තීරණයේ වෙනසක් නෑ

තැපැල් වර්ජකයින්ට ඇමැතිවරයකුගෙන් තර්ජන - ආණ්ඩුවේ තීරණයේ වෙනසක් නෑඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ආරම්භ කර ඇති පැය 48 ක තැපැල් වර්ජනය වහාම නතර කරන ලෙස ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැතිවරයකු තැපැල් වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කර ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයෝ කීපදෙනෙක්‌ම ප්‍රකාශ කරති.

වර්ජනය කිරීමෙන් ආණ්‌ඩුවේ තීරණ වෙනස්‌ කළ නොහැකි බවත් රජය මහනුවර, නුවරඑළිය සහ ගාල්ල කොටුව පිහිටි තැපැල් කාර්යාල රජයට පවරා ගත්තේ තැපෑල ඇතුළුව මුළු රටම සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා බාධා නොකරන ලෙසත් වෘත්තීය සමිති නායකයන්ට දැනුම් දී තිබේ.

වෘත්තීය සමිති නායකයන් ඇමැතිවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තා වේ. වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කිරීමට ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට අයිතියක්‌ නැති බවත් තර්ජනය කර වෘත්තීය සමිති මර්දනය කිරීමට තැත් කළහොත් පැය 48 වර්ජනය අඛණ්‌ඩ වර්ජනයක්‌ බවට පරිවර්තනය කරන බවත් වෘත්තීය සමිති නායකයෝ පවසති. 


කෙසේ වෙතත් තැපැල් කාර්යාල විකිණීමට විරෝධය පළකරමින් රටපුරා තැපැල් සේවකයන් පෙරේදා (13) ආරම්භ කළ වැඩවර්ජනයෙන් සියලුම තැපැල් කටයුතු ඇනහිටි බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි. මෙම වර්ජනය ඊයේ(14) දිනයේද ක්‍රියාත්මක වූ බවත් රජයෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණොත් අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ කරා යොමුවන බවත් තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා සඳහන් කරයි.

මේ වන විට නුවරඑළිය, මහනුවර, ගාල්ල කොටුව තැපැල් කාර්යාල විකුණා දැමීමට රජය පියවර ගෙන තිබෙන බවත් එම ක්‍රියාමර්ගය පරාජය කිරීම සඳහා ඉදිරියේදී වෘත්තීය සමිති ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන පීඩාකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් වගකීම රජය භාරගත යුතු බව ඔහු කියා සිටියේය. පෙරේදා දිනයේ රට පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල, වතු තැපැල් කාර්යාල වසා දමා සේවකයන් 19,000 ක්‌ පමණ වැඩ වර්ජනය සඳහා එක්‌වී සිටි බවත් රටටම ලිපි බෙදාහරින තැපැල් දෙපාර්තමේන්තුවේ හදවත බඳු මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය ද වසා දැමූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


එමෙන්ම තැපැල් දුම්රිය ධාවනයත් ශ්‍රී ලංකාවේ සිට විදේශ රටවලට ලිපි සහ පාර්සල් බෙදාහරින විදේශ තැපැල් කටයුතුත් මුළුමනින්ම නතර වී ඇත. ලිපි සහ පාර්සල් බෙදාහැරීමත් ලිපි භාරගැනීමත් දිවයිනේ කිසිම තැපැල් කාර්යාලයක සිදු නොවන බවත් වර්ජනය 100% ක්‌ම සාර්ථක බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad