සියලු මන්ත්‍රීන්වරුන්ගෙන් වත්කම් ඉල්ලයි - පවුල් ව්‍යාපාර ගැනත් වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

සියලු මන්ත්‍රීන්වරුන්ගෙන් වත්කම් ඉල්ලයි - පවුල් ව්‍යාපාර ගැනත් වාර්තාවක්

සියලු මන්ත්‍රීන්වරුන්ගෙන් වත්කම් ඉල්ලයි - පවුල් ව්‍යාපාර ගැනත් වාර්තාවක්
සෑම මන්ත්‍රීවරයකුම සිය වත්කම් සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත වාර්තාවක්‌ ලබාදිය යුතු බවට රීතියක්‌ ගෙන ඒමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණක්‌ නොව ඔහුගේ පියා, මව, කාලත්‍රයා, දියණිය හෝ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන් පිළිබඳව ද ව්‍යාපාර සම්බන්ධතා සහ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ තොරතුරු මෙහිදී අනාවරණය කළ යුතු වේ.

මන්ත්‍රීවරුන් විසින් ලබාදෙන මෙම තොරතුරු ඇතුළත් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් "මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය" නමින් ලේඛනයක්‌ පවත්වාගෙන යා යුතු අතර එකී ලේඛනයේ යම් තොරතුරක්‌ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ පිටස්‌තර පාර්ශ්වයකට ලබාගැනීමට ද හැකියාව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය යටතේ "මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය" පවත්වාගෙන යැමේ රීතිය ගෙන එන අතර සෑම මන්ත්‍රීවරයකුම අදාළ ලේඛනයේ සිය තොරතුරු ලියාපදිංචි කිරීමේදී හෘදසාක්‍ෂියට එකඟව එය කළ යුතු බව ද දැක්‌වේ.

මේ යටතේ මන්ත්‍රීවරයා සතු ඉඩම් සහ දේපළවලට අදාළ වත්කම්, කොටස්‌ හිමිකාරිත්වය සහ ලැබෙන ත්‍යාග ආදිය පිළිබඳව ද පාර්ලිමේන්තුවට අනාවරණය කළ යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන මෙම චර්යාධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර ඉදිරියේදී එයට අනුමැතිය ලබාගැනීම සිදුකෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad