සමූහ දූෂණයකට සැරසුණු තරුණයින් රවටා පොලිසියට අල්ලා දුන් බලංගොඩ තරුණිය

බළන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය නිම වී සිය නවාතැන්පළ වෙත පා ගමනින් යන අතරේදී පැහැර ගෙන ගිය තරුණිය කාමාතුරයන් තිදෙනාගෙන් මිදී පැමිණ ඔවුන් නීතිය හමුවට පැමිණවීමට තරම් වූ ඥානවන්ත තරුණියක පිළිබඳ බළන්ගොඩ පින්නවල පොලිසියෙන් අසන්නට ලැබිණි. පොලිසිය විසින් සිදු කරන ලද පරීක්‍ෂණවලදී හෙළිදරව් වූ කරුණු අනුව සිද්ධිය මෙසේය.

දුර පළාතකින් සේවයට පැමිණ බෝඩිමක නතර වී ඇඟලුම් කම්හලක සේවයට යන මැයගේ වයස අවුරුදු 26 කි. ඇය පැහැපත්ය. තරමක්‌ රූමත්ය. පසුගිය දිනක වැඩ නිම වී නවාතැනට යන අතරමඟදී රාත්‍රි 7.15 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයන් තිදෙනකු විසින් ඇය ඔසවා ත්‍රිරෝද රථයට දමාගෙන පඹහින්න ප්‍රදේශයට ගෙන ගියේ අතුරු මාර්ග ඔස්‌සේය. ඒ යන අතරමඟදී ඇය සතු ගෙල බැඳි රන් මාලය සහ අත් පළඳනාව ද පැහැර ගෙන ඇත.

අවසානයේ තමන්ට අත්වන්නේ කුමන ඉරණමක්‌ දැයි වැටහී ගිය තරුණිය තරුණයන්ට අවශ්‍ය පරිදි සිටින්නම් යෑයි අපූරු යෝජනාවක්‌ ඉදිරිපත් කළාය. එක්‌ එක්‌ තරුණයා සමඟ වෙන් වෙන්ව ඇසුරකට කැමැති බවත්, දින වෙන්කරවාගෙන කැමැති සුදුසු තැනකට තමා කැටුව යන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. ඒ අනුව තම ජංගම දුරකථනයේ අංකය ද ඇය ලබා දුන්නාය. ඉන් පසු සුහද වී පඹහින්න ප්‍රදේශයේදී තේ පැන් හලකට මැය සමඟ ගොස්‌ තේ පානය කර යළි බෝඩිම අසලට ගෙනැවිත් දමා රන් මාලය ද ඇයට ආපසු දුන්හ. කඩාගත් අත් පළඳනාව අස්‌ථානගත වී තිබිණි.

“අයියේ ඒකට කමක්‌ නැහැ. මට හෙට වුණත් කමක්‌ නැහැ කතා කරන්න” කියා ඔවුන් තිදෙනාටම හාදු දී මැය සමුගෙන රාත්‍රි 9.30 ට පමණ බෝඩිමට ගියාය. පසුදින ආසන්නයේ තිබූ පින්නවල පොලිසිය වෙත ගොස්‌ මුහුණ දුන් සිද්ධිය ස්‌ථානාධිපතිවරයාට ඇය පැමිණිලි කළාය. ඉන්පසු පොලිසියෙන් ලද උපදෙස්‌ පරිදි කටයුතු කරන්නැයි ඇයට උපදෙස්‌ ලබා දෙමින් පරීක්‍ෂණ ඇරඹිණි.

පෙර කී තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකුම මැයට ඇමතුම් ලබා දී සවස හමුවීමට අවශ්‍ය බව දන්වා සිටියහ. තමා අසනීප තත්ත්වයෙන් බළන්ගොඩ රෝහලේ නේවාසිකව පසුවන බවත් කෑම පාර්සලයක්‌ සහ වතුර බෝතලයක්‌ රැගෙන පැමිණෙන ලෙසත් ඇය තරුණයන්ට ආරාධනා කළාය. රෝහලෙන් ගිය පසු වෙන් වෙන්ව තරුණයන් මුණගැසෙන බවත් ඇය සඳහන් කළාය.

මේ වන විට පොලිසිය මොවුන්ට එලා තිබූ දැල ගැන නොදත් දෙදෙනාගෙන් කෙනෙකු පස්‌වරු 1.00 ට පමණ රෝහලට පැමිණ පිටත බංකුවේ වාඩි වී සිටි තරුණිය වෙතට ගොස්‌ කෑම බීම දෙන විටම ඔහු අත්අඩංගුවට පත්විය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත අනෙක්‌ දෙදෙනා ද අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ පවත්වන ලදී. එහිදී තරුණිය තිදෙනාම හඳුනා ගත්තාය. පසුව ලබන 13 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබිණි.

තරුණිය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකරන ලදුව ඇය ලිංගික අතවරයකට ලක්‌ වී නැති බව තහවුරු විය. සිය ස්‌ථානෝචිත ප්‍රඥාව නිසා සිදුවන්නට ඉඩ තිබූ මහා විපතකින් ඇය බේරුණු බව මෙම කතාවෙන් පැහැදිලි වේ. තරුණිය පැහැර ගැනීමට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස්‌ භාරයට ගෙන ඇත. පින්නවල පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඡේ. ඩී. ඩී. පී. ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (34153) සැරයන් නන්දසේන, (34408) සමන්, (85110) සුදුසිංහ (38018) කිත්සිරි යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කරති.

බළන්ගොඩ – එන්. එච්. පියසේන
(උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි)


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment