ලංකාව වටේ දුවන කෝච්චිවලට කාන්තාවන්ගේ නම් යොදන හේතුව මෙන්න - PHOTOS - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

ලංකාව වටේ දුවන කෝච්චිවලට කාන්තාවන්ගේ නම් යොදන හේතුව මෙන්න - PHOTOS

රුහුණු කුමාරිය ශීඝ‍්‍රගාමී දුම්රිය සේවයට එක්ව මාස හයකට පසුව කොළඹ සිට කන්කසන්තුරය දක්වාත් කොළඹ සිට බදුල්ල දක්වාත් ශීඝ‍්‍රගාමී දුම්රිය සේවා දෙකක් ඇරඹීම කෙරෙහි දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවන්නට විය. 

ඒ අනුව කොළඹ සිට කන්කසන්තුරේ දක්වා වූ දුම්රිය යාල්දේවී නමින්ද කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය උඩරට මැණිකේ නමින්ද ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කෙරිණි. ඉදිරි සැලසුමට අනුව නව දුම්රිය සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප‍්‍රචාරක මාධ්‍යයක් ලෙස ලංකාණ්ඩු දුම්රිය සේවයේ නව දුම්රියයන් පිළිබඳව එක්තරා පුවත්පතක පළකළ දැන්වීමක් විය. "ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ප‍්‍රියංකර සොහොයුරියන් තිදෙනකු ඉදිරිපත් කරයි” යනුවෙන් සඳහන් වූ දැන්වීම දකින ඕනෑම අයකුට හැඟී යන්නේ 1955 ඔක්තෝබර් 24 ගමන් ආරම්භ කළ රුහුණු කුමාරියද අලූතෙන් ගමන් අරඹන බවය. 
 
ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ප‍්‍රියංකර සොහොයුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි යනුවෙන් සිරස්තල යොදා C.G.R යන ඉංග‍්‍රීසි අක්‍ෂර රූප සටහන මත පිළිවෙළින් G ඉංග‍්‍රීසි අක්‍ෂරය මත ඔසරියකින් සැරසීගත් කාන්තා රුවක් සිතුවම් කොට ඊට යටින් උඩරට මැණිකේ ලෙසද, R අක්‍ෂරය යොදා එහි දමිළ කතක් සේ කාන්තා රුවක් හැඳ එය යාල් දේවී ලෙසත්, C ඉංග‍්‍රීසි අක්‍ෂරය යොදා එහි රෙද්දකින් සහ හැට්ටයකින් සැරසීගත් කාන්තා රුව යොදා ඊට යටින් රුහුණු කුමාරි ලෙසත් නම් කොට එම දැන්වීමේම සුරක්‍ෂිතව ගමන් කරන්න, ලාබෙට ගමන් කරන්න, දුම්රියෙන් ගමන් කරන්න යනුවෙන්ද සටහනක් තිබී ඇත.

දුම්රිය ගමන් කාල සටහනේද අලූතෙන් ඇරඹෙන යාල්දේවී, උඩරට මැණිකේ දුම්රිය සේවයේ ඇරඹුම් දිනයද සටහන්ව ඇති මේ අපූරු දැන්වීම නිවුන් සොහොයුරියන් යන කතාවට හේතු සපයා ඇත.
කෙසේ වුවත් නිවුන් සොහොයුරියන් වන උඩරට මැණිකේ සහ යාල් දේවී සුබ නැකතින් ගමන් අරඹන විට සංශෝදනය වූ කාල සටහනට අනුව ගමනේ යෙදුන රුහුණු කුමාරිය ලංකාණ්ඩු දුම්රිය මාර්ගයේ ප‍්‍රථම කාන්තා නම හිමි දුම්රිය ලෙස රන් අකුරෙන් ලියවෙමින් අතීතයේ සිට ගමන් අරඹා ඇත.

ඒ ආකාරයෙන් රුහුණු කුමාරි, උඩරට මැණිකේ, යාල්දේවි, ගාලූ කුමාරි, මුතු කුමාරි, රජරට රැජින, පොඩි මැණිකේ දුම්රිය ගමනට ආඩම්බරයෙන් එක්ව සිටින විට ඇයි පිරිමින්ගේ නම් දුම්රියට නොදමන්නේයැයි අපි විමසා බැලූවෙමු.
ඒ ගැන විමසු විට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.ටී. ආරියරත්න මහතා ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.
"මා හිතන්නේ කාන්තාව කියන්නේ ආකර්ෂණීය සාධකයක්. මේ නම් දුම්රියට හොඳින් ගැලපෙනවා. ඇය තුළ ඇති අපූරු ගමන් රටාව, සුන්දරත්වය, ඒ වගේම ඒ ඒ ප‍්‍රදේශයන්හි අනන්‍යතාව තහවුරු කරන ප‍්‍රධාන සාධකයක් තමයි කාන්තාව.


ඒ වගේම මට මතකයි පිරිමින්ගේ නම් දුම්රිය එන්ජින්වලට යොදල තිබුණා. ඔවුන් එවකට සිටි ආණ්ඩුකාරවරු. Class M2 දුම්රිය එන්ජිමකට දුන්හිඳ කියලත් යොදල තිබුණා. දුම්රිය යකඩ වලින් සැදුනක් වුවත් දුම්රිය ගමනේදී ඇසෙන හඬ පවා රිද්මයානුකූලයි.

අපේ රටේ කාන්තාවට වෙන රටවල කාන්තාවන්ට වගේ නෙවෙයි. විශේෂ සැලකිල්ලක් හිමිවෙනවා. අන්න ඒ ගෞරවනීය සැලකිල්ල කාන්තා නම් යෙදීමට හේතුවන්නට ඇති. 

කාන්තාවන්ගේ නම් දුම්රියට යෙදීමේ ඉතිහාස කතාවක් තියෙනවද යන්න තව දුරටත් සෙවීම සඳහා අප සම්බන්ධ කරගත්තේ දුම්රිය ඉතිහාසය පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යාපනික පොත් රැසක් පළ කළ සිරිසේන රාජපක්‍ෂ මහතාවයි. 1967 වර්ෂයේ දුම්රිය ස්ථානාධිපතිවරයකු ලෙස දුම්රිය සේවයට එක්වන රාජපක්‍ෂ මහතා වසර ගණනාවක සේවා කාලයක් නිම කරමින් 1984 වර්ෂයේ සිය සේවයෙන් විශ‍්‍රාම ලැබීය. 

සිය රාජකාරි ජීවිතයේ ලබාගත් අත්දැකීම්වලට අනුව සොයාගත් පර්යේෂණාත්මක තොරතුරුවලින් අනාවරණය වන පරිදි කාන්තාවන්ගේ නම් පමණක් දුම්රියට යෙදීම පිළිබඳව ඒ මහතා පැවසුවේ මෙවැනි කතාවක්. "දුම්රිය සේවය කියන්නේ රටේ ප‍්‍රවාහන සේවාවක්. එම ප‍්‍රවාහන සේවයේ ආරම්භය කොළඹින් වුවත් ගමනාන්තය වන්නේ නුවර හෝ යාපනය හෝ අනුරාධපුරය හෝ කොහේ හරි ප‍්‍රදේශයක්. ඒ වගේම අපේ රටේ විවිධ පළාත්වලට වෙන් වූ අනන්‍යතාවක් තිබෙනවා. 

අප උදාහරණයකට ගත්තොත් උඩරට, පහතරට, උතුර, රජරට ඔය ආදී වශයෙන් පළාතෙන් පළාතට වෙන්වූ අනන්‍යතාවක් තියෙනවා. ඒ වගේම හලාවත ප‍්‍රසිද්ධ මුතු වලට. ගාලූ කොටුව පිළිබඳව කියැවෙන ගාල්ලට යන දුම්රිය ගාලූ කුමාරි වෙනවා. එතකොට හලාවතට යන දුම්රිය මුතු කුමාරි වෙනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සෑම දුම්රියක්ම වගේ අගට යෙදෙන්නේ කුමාරි නම.

එතකොට උඩරට ඉන්නේ මැණිකෙලා. බදුලූ යන දුම්රිය උඩරට මැණිකෙ වෙනවා. අපි හිතමු උඩරට ඉන්නේ අප්පුල නිසා උඩරට අප්පු කියලා දුම්රියට නම් තැබුවා කියලා. එය කිසිඳු ගැලපීමක් නෑ. නමුත් උඩරට මැණිකේ කියනකොට ආකර්ෂණය වැඩි ගතියක් තියෙනවා. නමෙහි හුරුපුරුදු ගතියක් තියෙනවා. ඒ වගේමයි යාපනය එහෙම නැත්නම් උතුරට යන දුම්රිය යාල් පානම් කියලා හඳුන්වන ගමේ නමෙන් යාල් කෑල්ල සමග උතුරේ කාන්තාවන්ගේ අනන්‍යතාව හෙළිවන දේවි නම අගට යෙදිලා තියෙනවා. 


මේ දුම්රියන්ට තබා තිබෙන්නේ ගමනාන්තය, එහෙම නැතිනම් දුම්රිය ගමන් කරන ප‍්‍රදේශයේ නම හා එම ප‍්‍රදේශයේ කාන්තාවගේ අනන්‍යතාවය. ඕනැම අයකුට කුමාරි නම ඇසූ පමණින් ඔහු දන්නවා එම දුම්රිය උඩරට යන දුම්රියක් නොවේ කියලා. මොකද මැණිකේ නම ඇසුනම මගියාට සන්නිවේදනය වෙනවා පොඩි මැණිකේ, උඩරට මැණිකේ යාපනේට හෝ මුහුදුබඩ දුම්රිය මාර්ගයට හෝ නොයන බව. 

එය යන්නේ කන්ද උඩරටට. ඒ වගේම අපි සිඤ්ඤෝ කියල දැම්මානම් එහි ආකර්ෂණයක් නෑ. යාපනය ප‍්‍රදේශයට හෝ කන්කසන්තුරේට යන දුම්රියට අපි යාල් කන්දසාමි කියලා නම් තැබුවහොත් ආකර්ෂණය ගිලිහෙනවා. උතුරට යන දුම්රිය දේවි වන්නේ, රුහුණට යන දුම්රිය කුමාරිලා වන්නේ, උඩරට දුම්රිය මැණිකෙලා වන්නේ ඔන්න ඔය ආකාරයට.
ඒ වගේම නොදන්න තවත් දෙයක් තියෙනවා. දුම්රියට කාන්තා නම් වගේම දුම්රිය එන්ජිමට පිරිමි නම් යොදන අවස්ථාත් තියෙනවා. ඒ කාලේ වාෂ්ප එන්ජින්වලට යෙදුවේ අපේ රටේ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ නම්. 

එහිදී ඔවුන් එම ආණ්ඩුකාරවරුන්ට කරන ගෞරවයක්, සිහිපත් කිරීමක් ලෙස ඒ නම් යොදනු ලැබ තිබුණා. ඒ අනුව ෆෙඞ්රික් නෝර්ත්, මැකලම්, එඞ්වඞ් බාන්ස්, හෙන්රි ග්‍රෙගරි යන නම් එන්ජින්වලට යොදලා තිබුණා. මේ වන විට විවිධාකාර නම් යෙදීම් පවා අපට අහන්නට දකින්නට ලැබෙනවා. 

කඳු පල්ලම් බැසගෙන යන එන ගමන බොහෝ දුෂ්කරය. පසුකළ යුතු බාධක බොහොමයකි. ශක්තිමත්භාවයක් නොවේනම් සියල්ල බිඳවැටීමට වුවද හැකියාව ඇත. සියුමැලි සොඳුරු රිද්මයද කැටුව දුම්රිය කාන්තාවට සමාන වන්නේ එතැනින්ම යයි මට සිතේ. ”උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක කෝච්චියක් එනවා”

උපුටාගැනීම - රජයේ දුම්රිය මගින්ගේ නිල සමූහය - Nimesh Thennakoon

No comments:

Post a Comment

Post Bottom Ad