මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් මහ තරගයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් මහ තරගයට

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය ලෙස  කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හිදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කරගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 14.3 ක් අවසානයේ එම ඉලක්කය් පසුකර ගියහ. පන්දු 30 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කළ හර්දීක් පාණ්ඩ්‍යා මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. නායක රෝහිත් ශර්මා (26) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුනාල් පාණ්ඩ්‍යා සමත් වූ අතර පන්දු 24 කදී වාර්තා වූ රෝහිත් ශර්මාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 18.5 අවසානයේ ලකුණු 107 කට සීමා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පන්දුයවන්නෝ සමත් වූහ. විශිෂ්ට පන්දුයැවීමක නිතර වූ පා දඟ පන්දුයවන ක්‍රීඩක කරන් ශර්මා ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් කොල්කටා ඉනිම සුනුවිසුණු කර දැමුවේය. 


ලකුණු 7 කට කඩුලු 3 ක් දවාගත් ජස්ප්‍රීත් බුම්රා සහ ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගත් මිචෙල් ජොන්සන් කොල්කටා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ශර්මාට අනගි සහායක් දුන්හ. එහිදී ප්‍රතිවාදීන්ට ලකුණු 24 ක් ලබාදුන් ලසිත් මාලිංගට දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සූර්යකුමාර් යාදව් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළ අතර ඉෂංක් ජග්ගි පන්දු 31 කදී ලකුණු 28 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

මේ දක්වා පැවැති අයි. පී. එල්. තරගාවලියේ 10 තුළදී මෙම කණ්ඩායම් දෙක 20 වරක් එකිනෙකාට එරෙහිව තරග වැදී තිබේ. ඉන් 15 වරක් මුම්බායි කණ්ඩායම ජය ලබා ඇති අතර 5 වරක් කොල්කටා කණ්ඩායම ජය ලබා තිබේ. මෙහිදී සුවිශේෂී සිදුවීම වන්නේ අවසන් වරට මෙම කණ්ඩායම් දෙක මුණගැසුණ අවස්ථා 4 දීම කොල්කටා කණ්ඩායම පරාජය කිරීමට මුම්බායි කණ්ඩායම සමත් වීමයි. ඒ අනුව මුම්බායි කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් මෙම තරගයට පිවිසෙනු ඇත.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 107

(සූර්යකුමාර් යාදව් 31, ඉෂංක් ජග්ගි 28, කරන් ශර්මා 16/4, ජස්ප්‍රීත් බුම්රා 7/3, මිචෙල් ජොන්සන් 28/2)

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම - ඕවර 14.3 කදී කඩුලු 4 ක් දැවී 111
(පාර්තිව් පටේල් 14, රෝහිත් ශර්මා 26, කුනාල් පාණ්ඩ්‍යා නොදැවී 45, පියුෂ් චවුලා 34/2)

No comments:

Post a Comment

Post Bottom Ad