වසර තිහක යුද්ධයක් අවසන් කර රටට සාමය දිනා දීම වෙනුවෙන් ලැබෙන තෑග්ග තමන් ඇතුළු රණවිරුවන් දං ගෙඩියට දක්කාගෙන යාමදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමේ පනත මඟින් කරන්නට යන්නේ රණවිරුවන් දංගෙඩියට දක්කාගෙන යාම බව පැවසූ රාජපක්ෂ මහතා මෙම පනතේ භයානකකම රටට ආදරය කරන සෑම අයකුම තේරුම් ගත යුතු බවත් පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දිවංගත රෙජී රණතුංග මහතාගේ 80 වැනි ඡන්ම දින සමරුවට මිනුවන්ගොඩ, උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්න්ත්‍රණ ශාලාවේ දී පැවැති ගුණ සමරු උත්සවයට සහභාගී වෙමිනි.
රෙජී රණතුංග ගුණ සමරු දෙසුම කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් දිසානායක මහතා විසින් පවත්වනු ලදී. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතාගේ මහජන සේවා කාර්යාලය ද හිටපු ජනාධිපතිවරයාගේ අතින් මෙදින විවෘත කෙරිණි.
මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
මිනුවන්ගොඩ තමුන්නාන්සේලාට මම ඇවිත් රෙජී රණතුංග ගැන කියනවා කියන්නේ හරියට ගහ දන්න අයට කොළ කඩාපානවා වගේ වැඩක්. මම රෙජී අඳුන ගත්තේ 1970න් පස්සේ මන්ත්‍රීවරයකු ව සිටින කාලයේ. මම 1977 පරාද වෙලා ඉන්න කොට අනුර බණ්ඩාරනායක මහත්තයා මට කතා කරලා කිව්වා හොරගොල්ලට එන්න කියලා. මම හොරගොල්ලට ගියාම දැනගන්න ලැබුණා රෙජීගේ ගේ ගිනි තියලා කියලා. අපි රෙජී බලන්න ආවා.
රෙජීගේ ගතිගුණ, ගුණවත්කම අපි හැමදාම අගය කළා. එතුමා මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු, ආණ්ඩුකාරවරයකු ලෙස ජනතාව කරපු සේවය අසීමතයි. අද සමහරු කතා කරන කොට පේනවා ඉතිහාසය හා දේශපාලනය ගැන අවබෝධයක් නැති බව. ඔවුන් කියන දේවල් ගැන අපි කතා කළ යුතු නැහැ. දේශපාලන වශයෙන් එතුමා සමඟ ඉතාම කිට්ටුවෙන් කටයුතු කළේ ප්‍රසන්න.
රෙජි ළග තිබුණු සෘජු බව සහ ප්‍රතිපත්ති මම ප්‍රසන්න ළග දැක තිබෙනවා. ඒ ප්‍රතිපත්ති ඔහු කවදාවත් පාවා දීලා නැහැ. රෙජී වෙනුවෙන් කළ යුතු යුතුකම වන ඔහුගේ නම සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට ප්‍රසන්න කටයුතු කිරීම පිළිබඳ අපි ගරු කරනවා. අද රෙජී ජීවතුන් අතර සිටියා නම් රටේ වෙන දේවල් ගැන මොන තරම් කම්පා වෙයිද කියලා අපට කල්පනා වෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ රක්ෂිත ඉඩම්වල අනුන්ගේ කුණු දානකොට, දොම්පේ කුණු ප්රතිචක්රීයකරණය කරන ස්ථානය විනාශ කරන්න යනකොට, මුළු පරිසරය විනාශ වෙන්න කටයුතු කරනකොට මොන වගේ කම්පාවක් ඇති වෙනවාද කියලා බලන්න. කුණු බැහැර කිරිම අත්‍යාවශ්‍ය සේවාවක් කරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්කමක් නැහැ. මුතුරාජවෙල රක්ෂිතය විනාශ කරනවා.
එදා මහා සංඝරත්නයට පවා පහර දුන්නා. ගහලා, බැනලා, හිරේ දාලා ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවකට බැහැ. ප්‍රශ්න ගැන අවබෝධයක් තිබිය යුතුයි. ප්‍රශ්න ඔඩුදුවන්න දෙන්න හොඳ නැහැ. අපේ කාලයෙත් පරිසර ඇමැතිවරුන් හිටියා. පරිසර ඇමැතිවරුන් ක්‍රියාත්මක නොවුණු නිසා තමයි ආරක්ෂක ලේකම්වරයාට මේක බලන්න කියලා කියන්න වුණේ. එයා ඒක කළා.
දැනුත් පරිසර ඇමැතිවරුන් ඉන්නවා. මෙයාලා ඒවා බලන්න ඕනේ. ජනාධිපතිටම සේරම බලන්න බැහැනේ. ඒ නිසා විවේචන කරනකොට තමන් කරපු වැරැදිත් කල්පනා කරලා විවේචනය කරනවා නම් හොඳයි. අපි සියල්ල කළේ සැලසුමකට අනුව. තුවක්කුවක්, පතරොමක් තිබුණේ නැති හමුදාවක් හිටපු අපිට වසර තිහක යුද්ධයක් අවසන් කරන්න පුළුවන් වුණේ අපේ සැලැස්ම නිසා.
අද කාපට්, කොන්ක්‍රීට් නැති පාරක් රටේ නැහැ. උතුරේ ජනතාව ඉල්ලන විදියට රටෙන් කෑල්ලක් නොදුන්නට එදිනෙදා ජීවිතය ගෙනයන්න අවශ්‍ය සියලු පහසුකම් අපි දුන්නා. අපි කිසි වැඩක් දේශපාලනමය වශයෙන් හිතලා කළේ නැහැ. අද ගෙවල් බෙදන්නේ, සිමෙන්ති කොට්ටේ වගේම ග්‍රාමීය බැංකු වගේ බැංකුවලින් ණය පවා දෙන්නේ දේශපාලන පක්ෂය ගැන හිතලයි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ආවම හැමදාම කළේ ඔහොමයි. මේකත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මිසක් අපේ ආණ්ඩුවක් නෙමෙයි. නිදහස් පක්ෂයේ අය ඇමැතිකම් අරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශක්තිමත් කරන්න කටයුතු කරනවා. අද මම පුවත්පතක දැක්කා දැනට තියෙන පොලිස් ස්ථාන 400 ය 600 දක්වා වැඩි කරනවා කියලා. පොලිස් රාජ්‍යයක් සඳහාද මේ සූදානම? පොලීසි හැමතැනම දැම්මා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුවට ගෙනාවා අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා පනතක්. මේ පනතේ තියෙන භයානකකම පොල් ගෙඩිය, හාල් සේරුව ගණන් ගියා වගේ දැනෙන්නේ නැහැ. නමුත් රටට ආදරය කරන අයට මෙහි භයානකකම දැනෙනවා. වසර තිහක යුද්ධයක් නිමා කරලා රටට සාමය උදා කරපු රණවිරුවන් ටික අද දංගෙඩියට දක්කන්න හදනවා.
ඒකේ තියෙනවා නියෝග දීම මත අපරාධ පනත යටතේ නඩු පවරන්න පුළුවන්. ක්‍රියාවකින් වැළකී සිටීමටත් නඩු දාන්න පුළුවන්. මම කරන්නේ නැහැ නිකං හිටියත් නඩු දානවා. අතුරුදන් කළා යැයි කියන චෝදනාව විදේශිය රජයක් හෝ එවැනි රජයක් වෙනුවෙන් ක්‍රියා කරන ඕනෑම සංවිධානයක් විසින් ඉදිරිපත් කරන්න පුළුවන්. අතුරුදන් කළා කියන චෝදනාව රජයකට, පුද්ගලයකුට වගේම රාජ්‍ය නොවන සංවිධානයකටත් කරන්න පුළුවන්.
යුරෝපයේ ඕනෑම රටක නඩුවක් පවරන්න පුළුවන්. අතුරුදන් වීමේ චෝදනාවක් කරලා ඒ නඩුවේ විත්තිකාරයකු ලෙස නම් කරලා ඉල්ලීමක් කළාම අපේ රටෙන් පිටුවහල් කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂව වුණත් ඉල්ලුවොත් පිටුවහල් කරන්න පුළුවන්. මම විතරක් නෙමෙයි යුද්ධය කරපු ඕනෑම කෙනකුට මේක බලපානවා. ෆොන්සේකා වුණත් යවන්න පුළුවන්. එයාව නම් යවන එකක් නැහැ.
මේ චෝදනාව කරන රට රෝම ප්රඥප්තියට අත්සන් කරලා තිබ්බොත් මාව යුද අපරාධ අධිකරණයට වුණත් යවන්න පුළුවන්. රනිල් හැමදාම කියනවා අපි මේ ගිවිසුම අත්සන් කළේ නැහැ කියලා. අපි අත්සන් කරලා නැති හින්දා යවන්නේ නැති වුණත් චෝදනාව කරන රට අත්සන් කරලා තියෙන නිසා මාව යුද අපරාධ අධිකරණයට යවන්න පුළුවන්.
අතුරුදන් කිරීමේ චෝදනාවකට දඬුවම් විඳින කාලය තුළ අතුරුදන් වූ කෙනා යළි හමුවුවහොත් එයාගේ කැමැත්තක් නැතුව ඒ පුද්ගලයා ගෙන එන්න බැහැ. පරිප්පුව කන්නම ඕනේ. දැන් මේ පනත සම්මත කරලා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ගැන පනත දැන් සම්මත කරලා. දැන් ජනාධිපති ළඟ තියෙන්නේ. එයා ඒක අත්සන් නොකර ඉන්නවා. අපි ඒ ගැන සතුටු වෙනවා.
මම විතරක් නෙමෙයි රණවිරුවන් සියලුදෙනාම මේ පනත මඟින් මහා දඬුවමකට ලක් කර තිබෙනවා. මේකද ප්රජාතන්ත්රවාදය? මේකද රට නිදහස් කරලා දුන්න එකට ලැබෙන තෑග්ග? එල්. ටී. ටී. ඊ ඩයස්පෝරාවට ඕනෑ විදියට රටක් කරන්න බැහැ. මේවා තමයි රට හමුවේ තිබෙන ප්‍රශ්න. මේවාට විරුද්ධ නම් දවස් හතක් ඇතුළත උසාවි යන්න ඕනේ.
මේ පනත කියවලා නීතිඥ මහත්තරුන්ට දිලා උපදෙස් ගන්නම දවස් හතක් යනවා. අපේ අයට එක දවසක් පරක්කු වෙලා වැඩේ වැරදුණා. ඒ හින්දා අපිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්න බැහැ. පාර්ලිමේන්තුවේ කමිටුවකට ඉදිරිපත් කර තිබෙනවා. අපේ වාසුදේව මන්ත්‍රිතුමා තමයි ඉන්නේ. කමිටුවේ අනුමත වෙන එක කල් ගියා. මේ යන්නේ කොහෙටද?
මම මේක මැයි දිනයේ කියන්නම් කියලා හිටියේ. නමුත් මේවා මිනිස්සු දැන ගන්න ඕනේ. මාධ්‍යයත් මේවා වැඩිය දාන්නේ නැහැ. එයාලටත් ප්‍රශ්න. සී. එස්. එන් එක වැහුවා. දෙරණට දැන් රතු එළියයි කහ එළියයි දෙකම පත්තු වෙලා. කොළ එළිය එන්න නම් ඒ පැත්තට හැරෙන්න කියනවා. හිරු එකටත් ගහනවා. මේ විදියට මාධ්‍යවේදීන්ටත් කරදර. වෙළඳ දැන්වීම් දෙන්නේ නැහැ.
පත්තරවලටත් ඒ තහනම එනවා. එයාලත් පරිස්සම් වෙන්න වෙලා තියෙනවා. නමුත් ඒත් පත්තර ඉන්නවා. අපි ඒක අගය කරනවා. පත්තර ගත්තාම දකිනවා ඇති. දැන් බැඳුම්කරේ පත්තරෙත් එනවානේ. ඒකට දැන්වීම් දාන හැටි දැක්කම අපට වැඩේ හිතාගත හැකි. හැමදාම අපට ෂොට් එකක් ගහනවා. ඒක හොඳයි ඇස්වහ කටවහ යන්නත් එක්ක.
– ප්‍රදීප් අනුර කුමාර
Sunday, April 23, 2017
අලූත් නීති හදයි.. මහින්ද රාජපක්ෂ ලංකාවෙන් පිටුවහල්..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment