තනි සිගරට්ටුවට කැබිනට්ටුව අත තියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

තනි සිගරට්ටුවට කැබිනට්ටුව අත තියයි

තනි සිගරට්ටුවට කැබිනට්ටුව අත තියයි

දුම්පානය අවම කිරීම සඳහා තනි සිගරට්ටුව විකිණීමට නොහැකිවන පරිදි නීතිරිති සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙි සංදේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරීම සඳහා දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීමට ද පියවර ගන්නා බවයි.

දුම්කොළ වගාවෙන් ඉවත්වන ගොවීන් සඳහා ලෝක බැංකුවෙි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මත විකල්ප වගා ක්‍රම සදහා ආධාර ලබාදීමෙි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. 

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේ බුලත්සිංහල රැටියල විද්‍යාලයේ පැවැති සෞඛ්‍ය කඳවුරක් විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

 "දේශපාලනය සහ ව්‍යාපාර ගොඩනැගීම අමාරු වැඩක්. දුක් කමකටොළු විඳදරා ගනිමින් ඉදිරියට පැමිණිය යුතුයි. දර්ශනයක් නොමැති පුද්ගලයින් අදුූරදර්ශී වැඩ කරන්න පුළුවන්. සහල් මිල අඩු වුනත් කවුරුත් අද කථා කරන්නේ නැහැ. ඉතා අධික මිලකට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගත් පිළිකා ඖෂධවල මිල රුපියල් එක්ලක්ෂ 44,000 දක්වා මම අඩු කිරිමට පියවර ගත්තා. ඖෂධවල අකුරු තුනවත් කියන් බැරි පතල් කැපූ මන්ත්‍රිවරයෙක් මට සෞඛ්‍ය ගැන ඉගැන්වීමට සුදානම් වෙනවා.

ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමෙින්තුවට තේරි පත්වන්නේ පොල්කෝම්බ ගඟේ ගහගෙන එනවා වගේ. ඖෂධ සමාගමකින් මුදල් ලැබුනාම එවැනි මන්ත්‍රීවරුන් සිතන්නේ ස්වර්ග රාජ්‍ය හිමිවුණා කියලා. වංචා සහ දුෂණ වලට සම්බන්ධ ඖෂධ සමාගමක මුදල් මත මට විවිධ චෝදනා ඉදිරිපත් කරනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමනාකාර අධ්‍යක්ෂවරයාට රුපියල් ලක්ෂ 50 ක් ලබා දී මම හමුවීමට එම දූෂිත ඖෂධ සමාගම සුදානම් වුණා. ඊට අපි එකඟ වුණේ නැහැ. ඉංග්‍රීසි වචන ටිකක්වත් දන්නේ නැති මන්ත්‍රීවරයෙක් කියපු බොරුවක් මාධ්‍යයෙත් පළ කරනවා. හරි වැරැද්ද සොයා බලන්නේ නැහැ. සංවර්ධන මාධ්‍යයක් ශ්‍රී ලංකාවෙි නැහැ. චීනය, සිංගප්පුරුව වැනි රටවල සංවර්ධන මාධ්‍යයක් ක්‍රියාත්මක වෙනවා. රජයෙන් ජනතාවට හිමිවන ප්‍රතිලාභ පිළිබද ප්‍රවෘත්ති පළ කරනවා. හොඳ වැඩ කරලා බැනුම් අහන්නත් සිදු වෙනවා. 

දේශප්‍රේමි හිටපු ජනාධිපතිවරයා දුම්කොළ සමාගම වෙනුවෙන් තීන්දු තීරණ ගත්තා. දුම්කොළ බදු පැනවීමට සුදානම් වූ අවස්ථාවෙි දී ඊට විරුද්ධ වුණා. අමාත්‍ය මණ්ඩලයේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් මම අදහස් පළ කළා. යුද්ධය දිනා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට සහයෝගය ලබාදුන්නා. නමුත් ජනතාව දිනාගැනීමට ඔහුට හැකියාව ලැබුනේ නැහැ. මම ජනතාව වෙනුවෙන් සේවය කරනවා. මෙම සමාජ ක්‍රමය වෙනස් කිරිම තමයි අපේ අරමුණ. ඒ සදහා මානුෂීය සිතුවිලි තිබිය යුතුයි. දුම්කොළ සහ ඖෂධ සමාගම් මට ඉදිරියේ දී පහර දෙයි. ඉදිරි මැතිවරණ වල දී මඩ ගැසීම සදහා මුදල් වියදම් කරයි. මම ඒවාට මහුණදීමට සුදානම්.”

No comments:

Post a Comment

Post Bottom Ad