ශ්‍රීලනිප රැස්වීමට චමල් එයි - තම අරමුණ ගැන මෛත්‍රී හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

ශ්‍රීලනිප රැස්වීමට චමල් එයි - තම අරමුණ ගැන මෛත්‍රී හෙළිකරයි

ශ්‍රීලනිප රැස්වීමට චමල් එයි - තම අරමුණ ගැන මෛත්‍රී හෙළිකරයි

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ පිරිසිදු දේශපාලන චරිත බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා තමා ජනාධිපති ධූරයේ සිටියත් නැතත් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා වූ තම දේශපාලන අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව ඊයේ (02) පස්වරුවේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී හෙතෙම මේ බව අවධාරණය කළේය.

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිදු තැනක, කිසිදු ගිවිසුමකින් කොටු වී නැති තමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තීන් සහ දර්ශනය ඉදිරියට ගෙන යාමට අවංකවම කැපවී සිටින බවද අවධාරණය කළේය.

රටේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් නිරන්තරයෙන් පෙනී සිටින අතර කිසිවිටෙකත් විදේශ විනිශ්චයකාරවරුන් මේ රටට ගෙන්වීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා මානව හිමිකම් කඩවීම් පිළිබඳ තිබෙන චෝදනා අනුව ශී‍්‍ර ලංකාවට විදේශීය විනිශ්චයකරුවන් ගෙන්වීමේ අදහස ක‍්‍රියාත්මක කළ යුතු බවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මීට සති දෙකකට පෙර කළ ප‍්‍රකාශයට පැය 24 ක් නික්ම යාමට මත්තෙන් ප‍්‍රතිචාර දැක්වූ තමා කිසිසේත් විදේශ විනිශ්චයකාරවරුන් මේ රටට ගෙන්වීමට සූදානම් නොමැති බව ඔහුට දැන්වූ බව ද කියා සිටියේය.

ජනතා යහපත උදෙසා නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාධාරණ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් රජය මේ වන විට විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙන අතර ජනතාව බලාපොරොත්තු වන වෙනස ඔවුන්ට ලබාදීම සඳහා තවත් බොහෝ කටයුතු ඉටුකළ යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා වංචාව, දුෂණය, අක‍්‍රමිකතාවය බැහැර කර රට ගොඩනැගීමේ පිරිසිදු දේශපාලන ගමනට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගත යුතු බවද කියා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජාතික තරුණ සම්මේලනයේ සංවිධාන කටයුතු පිළිබඳ මෙන්ම සාර්ථක මැයි රැළියක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

නීති සංගම්, ගුරු සංගම්, වෘත්තීය සමිති සංගම්, උපාධිධාරින්ගේ සංගමය ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සියලු සංවිධානවල සාමාජිකයින් මෙම හමුවට එක්ව සිටී අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ද හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, හිටපු කථානායක චමල් රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad