බැඳුම්කර මගඩියේ මුදල් රට යැවීමේ සැලසුමක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

බැඳුම්කර මගඩියේ මුදල් රට යැවීමේ සැලසුමක්?

බැඳුම්කර මගඩියේ මුදල් රට යැවීමේ සැලසුමක්?

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් විසින් බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදල් රටින් පිටකිරීමේ උත්සාහයක නිරතවන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. 

අර්ජුන් ඇලෝසියස්ට හිමි මෙන්ඩිස් අරක්කු සමාගම විසින් පාසිකුඩා වෙරළ පාරේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පවතින බවත් මේ පළාත්වල ඉදිකිරීම් ගැන ඡායාරූප අරගෙන පටිගත කොට රූපවාහිනී නාලිකාවල වාර්තා කළ පසු එම පළාතේ ඉඩම් නිලධාරියාට වෙඩිතැබූ බවත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එලෙස ඉදිවන්නේ අරක්කු නිෂ්පාදන කර්මාන්තශාලාවක් බවත් ලැබී කියෙන තොරතුරුවලට අනුව මෙන්ඩිස් සමාගම බදු වංචාකරල තමන්ගේ බලපත්‍රය පවා අහිමි වු සමාගමක් බවත් එවැනි සමාගමකට සුරාබදු කොමසාරිස්වරයා තවත් අරක්කු කර්මාන්ත ශාලාවක් අරින්න බලපත්‍ර ලබාදීමේ ඉඩක් නැති බවත් මන්ත්‍රීවරයා අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එලෙස ඉඩ ලබාදුන්නත් වෙරළක් අයිනේ කර්මාන්ත ශාලාවක් අරින්න ඉඩක් නැති බවත් පාසිකුඩා ප්‍රදේශය උග්‍ර ජල හිඟයක් තියෙන ප්‍රදේශයක් බවත් අරක්කු කියන්නෙත් ජලය දැවැන්ත ලෙස අවශ්‍ය කර්මාන්තයක් බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

බැඳුම්කර මගඩියෙන් වංචනිකව උපයාගත් බිලියන ගණනක මුදල් තව දුරටත් ශ්‍රී ලංකාවේ තබාගැනීම අවදානම් නිසා මේ කර්මාන්ත ශාලාවට යන්ත්‍ර සුත්‍ර ගෙන ඒමේ මුවාවෙන් විදේශ ගත කරන්න උත්සහ කරනවාද කියල ඒ නිසා සාධාරණ සැකයක් මතුවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“අපි කියනවා මේකට අධි ඉන්වොයිස් ක්‍රමය හරහා විදේශ විනිමය පිට රටට ගෙන යාම කියලා. මේක සුලභ ක්‍රමයක්.  අපිට සාධාරණ සැකයක් තියෙනවා බැඳුම්කර මගඩියේ කළු සල්ලි මෙරට තබාගැනීමේ අවදානම පෙනෙන නිසා විදේශ ගත කිරීමේ උත්සහයක්ද මේ කියලා.

ඒ නිසා ජනපතිතුමනි අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත.  මේ ගැන විමර්ශනය කරන්නට තිබුනේ පසුගිය වසර දෙකේ. දැන් කාලය ගෙව්වා හොඳටම ඇති. පිවිතුරු හෙළ උරුමය මේ අර්බුදයට පස් විධ වැඩ සටහනක් යෝජනා කළා.

1. වංචනිකව ඉපයූ මුදල් අත්හිටුවා වහාම මහ බැංකුවේ භාරයට ගන්න.

අද වෙනතුරුත් මේක කළේ නෑ.  කළානම් මෙහෙම පිට රටවලට හොර පාරවල් වලින් සල්ලි ටික යවන්න වෙන්නෙත් නෑ. 

2. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අවලංගු කරන්න.

ඒ දේ කළෙත් නෑ.  ඒ නිසා 2015 පෙබරවාරි මාසයේ කරපු බැඳුම්කර වංචාව ඒ විදිහටම 2016 මාර්තු මාසයේත් කළා.

3. වරද කරුවන් රටින් පිටවීම නවත්වන්න ගමන් බලපත්‍ර උසාවිය භාරයට ගැනීමට අධිකරණ නියෝගයක් ලබාගන්න.

ඒ දෙය ඉටුඋනෙත් නැහැ. 

4. කල් නොයවා නීතිපති හරහා මොවුන්ට විරුද්ධව අධි චෝදනා පත්‍ර ගොනු කරන්න.

ඒක අද වෙනතුරු නීති පති අධ්‍යයනය කරනවා. සමහර ලිපිගොනු පොලීසියෙන් නීතිපතිට ගිහාම පැය 24න් නීතිපති උපදෙස් පොලීසියට ලබාදෙනවා. නමුත් මෙහිදී දෙවසරක් ගතවෙලත් නීතිපති තවම බුදි. 

5. මේ දූෂණයේදී මහ බැංකුව ගැන හැමෝම කතා කළත් ලංකා බැංකුව සහ සේවක අර්ථසාධක අරමුදල ගැන කවුරුවත් කතා කරන්නෑ. ලංකා බැංකුවට ලබාදුන්  දුරකථන ඇමතුමකින් බිලියන ගානක ණයක් පර් පෙචුවෙල් ට්‍රෙසරීස් සමාගමට දුන්නේ කොහොමද ? ලංකා බැංකුව සෘජුව බැඳුම්කර මිලදී ගැනීම් කරන් නැතුව, පර්පෙචුවෙල් ට්‍රෙසරීස් හරහා මිලදී ගන්නට යාමෙන් මිලියන ගණනක ආදායමක් අහිමිකර ගත්තේ ඇයි? සේවක අර්ථසාධක අරමුදල සෘජුව මිලදීගන්නැතුව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හරහා මිලදී ගත්තේ ඇයි.  මේ ගැන අද වෙන තුරු කිසිම සංවාදයක් නැහැ. පරීක්ෂණයක් නැහැ. 

මහ බැංකුව කියන හඳ දෙස බලන අතරෙම වටේ තියෙන තරු දෙසත් බලන්න කියල අපි ආණ්ඩුවට සිහිපත් කරනවා. “

 

No comments:

Post a Comment

Post Bottom Ad