අප ඉවත් වූයේ මෛත‍්‍රීගේ සන්ධානයෙන් පමණයි.. මහින්දගේ සන්ධානය සමග ඉදිරියටම..- ජානිපෙ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 26, 2017

අප ඉවත් වූයේ මෛත‍්‍රීගේ සන්ධානයෙන් පමණයි.. මහින්දගේ සන්ධානය සමග ඉදිරියටම..- ජානිපෙ

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූයේ විපක්‍ෂයේ අරගලය ශක්තිමත් කිරීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

එජනිසයෙන් ඉවත් වූයේ විපක්‍ෂයේ අරගලය ශක්තිමත් කිරීමටයි!

ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ ස්වාධීන දේශපාලන පක්‍ෂයක් ලෙස කටයුතු කිරීම සඳහා මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ පැවැති සියලු බැඳීම් ඉවත් කරන බව එහි මහලේකම්වරවයාට දැනුම් දීමත් සමඟ ඇතැම් වැරදි සහගත මත සමාජගත වෙමින් පවතී. ඒ නිසා පහත සඳහන් පැහැදිලි කිරීම සිදුකරන්නෙමු.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය මහ මැතිවරණයෙන් පසුව කටයුතු කරන්නේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාලන පක්‍ෂයක් ලෙසය. ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එම මැතිවරණයට තරඟ වැදුනද පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කටයුතු කරන්නේ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂයක් ලෙසය. එනිසා එජනිසට පාර්ලිමේන්තුවේ විවාද සඳහා ආණ්ඩු පක්‍ෂය ලෙස ලැබෙන කාලයෙන් වැඩිපුර කොටසක් ඔවුන් ලබාගෙන එජනිස යටතේ තරඟ වැදී දැනට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කරන අප ඇතුළු සියලු පක්‍ෂවලට ලබා දෙන්නේ සුළු කාලයකි. 


එම හේතුවද ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන එජනිස තුළ සිටිමෙන් විපක්‍ෂයේ ස්වාධීන දේශපාලන පක්‍ෂයක් ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීම්වලට සහභාගී වීමේ ඉඩකඩද පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ නායකයකු ලෙස ජාතික වැදගත්කමකින් යුතු කරුණු පිළිබඳ ස්ථාවර නියෝග 23(2) යටතේ විශේෂ ප්‍රකාශ සිදු කිරීමේ වරප්‍රසාදයද අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතාට අහිමිව තිබිණි. මේ සියලු කරුණු අප පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ කාර්යභාරය ඉටු කිරීමට බාධාවක්ව පැවැත්විණි.

එනිසා 2016 අප්‍රේල් මස 05 කථානායකවරයාට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දීමටද වාචිකව අදහස් දැක්වීමටද විමල් වීරවංශ මහතා කටයුතු කර තිබිණි. එම ඉල්ලීම දිර්ඝ කාලයක් තිස්සේ ඉටු නොවීම තුළ පසුගිය පාර්ලිමේන්තු සතියේදී කථානායකවරයාට එය යළි සිහි කැඳවීමටත් එහිදී මතු වූ කරුණු අනුව එජනිසයෙන් නිල වශයෙන් ඉවත්වීම පිළිබඳ එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතාට දැනුම් දීමටත් අප පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කර තිබේ.

අප පක්‍ෂයක් ලෙස මෙම තිරණය ගනු ලැබුවේ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂයක් ලෙස රටත් ජනතාවත් වෙනුවෙන් වන අරගලය වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමටය. එසේම මෙහිදී පැහැදිලි කළ යුතු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වන අපගේ සැබෑ විපක්‍ෂයේ භූමිකාව මෙමගින් වඩාත් ශක්තිමත් වන බවය. එසේම මෙම තීරණය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වීමක් ලෙස හුවාදක්වන අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසද මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

මොහොමඩ් මුසම්මිල්
ප්‍රචාරක ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment

Post Bottom Ad