තවත් ඇමතිලා ගැලවෙනවා.. ආප්ප න්‍යායෙන්ම මේ ආණ්ඩුව පෙරලන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 1, 2017

තවත් ඇමතිලා ගැලවෙනවා.. ආප්ප න්‍යායෙන්ම මේ ආණ්ඩුව පෙරලන්න සූදානම්..

වර්තමාන ආණ්ඩුව 2017 වසරේ ගෙදර යවන්නේ ඒ අයම රටට හඳුන්වා දුන් ආප්ප න්‍යායම භාවිතා කරමින් බවත් ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් බිහිකළ පසු ඒ න්‍යාය කාටත් දැකගත හැකි වනු ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කලින් ප්‍රකාශ කර ආප්ප න්‍යාය ක්‍රියාත්මක කරන සිරිතක් නැති බව පැවසූ රණතුංග මහතා යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරා ගෙන ගිය මහින්ද රාජපක්ෂ පාලනය ආප්ප න්‍යායෙන් වෙනස් කළ හැකි වී නම් රටට කිසිදු වැඩක් නොකරන ‍වර්තමාන ආණ්ඩුව ද ආප්ප න්‍යායෙන්ම වෙනස් කිරීම සුළු දෙයක් බවත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අතුල කුමාර සේනානායක මහතාගේ පරිත්‍යාගයෙන් පාසල් දරු දැරියන් හට පොත් බෙදා දීම සඳහා මිනුවන්ගොඩ දී පැවැති උත්සවයකට එක්වෙමිනි.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මහජන නියෝජිතයකු වශයෙන් ලැබෙන සුළු වැටුප පවා යොදාගෙන දරු දැරියන් වෙනුවෙන් මෙවැනි සේවාවක් කරන්නට පියවර ගැනීම ගැන අප සතුටු විය යුතුයි. මේ දරුවන් රටේ අනාගතය භාර ගන්න සිටින දරුවන්. මේ දරුවන්ට වගකීමක් තිබෙනවා හොඳින් ඉගෙන ගෙන රටට සේවාවක් කරන්න.

අපි පාසල් අවදිය ගත කළේ යුද්ධය නිසා හට ගත් මර බියෙන්. කොළඹ පාසල්වලට දුම්රියෙන්, බසයෙන් ගියේ බයෙන්. ඒ නිසා මවුපියන්ට උදේ හවස පාසල් මුර කරන්න යන්න සිදුවුණා. අද එවැනි තත්ත්වයක් නැහැ. යුද්ධය අවසන් කරලා, පාසල්වලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබා දීලා අධ්‍යාපනය නංවන්න අපට පසුගිය කාලයේ පුළුවන් වුණා.

යුද්ධය නිසා රට විනාශ වී තිබුණු අවස්ථාවක තමයි මහින්ද රාජපක්ෂ මහතා රට භාරගෙන යුද්ධය අවසන් කරලා යුද්ධය වැය කළ මුදල් අධ්‍යාපනයට වෙන් කර දරුවන්ගේ අනාගතය ගොඩනංවන්න කටයුතු කළේ. මම පළාත් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන විට පාසල්වල ගුරු හිඟය අවසන් කළා. මානව සම්පත වර්ධනය නොකළහොත් පාසල්වල කොතරම් භෞතික සම්පත් වැඩි කළත් වැඩක් නැහැ.

අද තොරුතුරු දැනගැනීමේ පනත සම්මත වෙලා තිබෙනවා. ඒක හොඳ වැඩක්. ‍කවුරු කළත් අපි හොඳ දේට හොඳයි කියන්න ඕනේ. ඒ නිසා මවුපියන් පාසල්වලට ගිහින් විදුහල්පතිවරුන්ගෙන් අහන්න ඕනේ ගුරුවරුන් කීදෙනෙක් ඉන්නවද, දරුවන් කීදෙනෙක් ඉන්නවද කියලා. විදුහල්පතිවරුන් ඒවාට උත්තර දෙන්න ඕනේ. මම පළාත් සභාවෙන් අයින් වෙලා පාර්ලිමේන්තුවට ගියත් මිනුවන්ගොඩ ආසනයේ අධ්‍යාපනය ගැන සොයා බලනවා.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරමින් යන විට වෙනසක් ඇති කරන්න මිනිස්සුන්ට වුවමනා වුණා. ඒ සඳහා නොයෙක් මතවාද සමාජගත කළා. එකක් තමයි දරුවන්ගේ අධ්‍යාපනයට වැය කරන මුදල මදි කියලා. අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරන්න කියලා පෙළපාලි ගියා. දැන් හොයලා බලන්න ඒ කාලයේ පාසල් නඩත්තුවට දුන්න මුදලත් කපා හැරලා. පාසල් දරුවන්ගේ නිල ඇඳුම්වලට වවුචර් දෙන්න පටන් අරගෙන ඒ මුදලත් කපා හැරලා.

මෙතන පක්ෂ භේදයකින් තොරව හැම පක්ෂයකම අය ඉන්නවා. වෙනස ඇති කරන්න ඡන්දය දීපු අයත් ඉන්නවා. දැන් ඔබ කල්පනා කළ යුතුයි වෙනස ඇති වී තිබෙනවාද කියලා. අද ජාතික ආරක්ෂාව කොහොමද, උතුරු නැගෙනහිර පන්සල් ටික කඩලා දාලද කියලා. අද හාල් මිල කොහොමද? රුපියල් සීයයි. දැන් අහන්න තියෙන්නේ කොහාමද වෙනස සැපද කියලා.

අද වෙනසක් වෙනුවෙන් ඡන්දය දීපු අයට ලැජ්ජාවක් ඇති වෙලා තිබෙනවා. ලැජ්ජා වෙන්න එපා. තමුන්නාන්සේලාට වඩා හොඳ ශ්‍රි ලංකාකාරයෝ වෙනසක් හොයා ගෙන ගිහින් දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නවා. ඒ අය තමයි අපෙන් අද අහන්නේ වෙනස වෙනස් කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන් පිටරට ඉන්න අය තමයි මුදල් වියදම් කරලා එදා මහින්ද මහත්තයා පරාජය කළේ. දැන් ඒ අය අපිව මුදල් ‍වියදම් කරලා ගෙන්නලා කියනවා අපිට වැරදුණා කියලා.

2017 අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවට මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නිසා ඊළඟට පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. එතකොට මේ අයට සිදුවෙනවා ආණ්ඩු බලය අතහැර පසුබසින්න. එහි හොඳ පෙරනිමිත්තක් වශයෙන් එක ඇමැතිවරයකු ඇමැති ධූරයෙන් ඉවත් වී‍ තිබෙනවා.

මේ ආරම්භය පමණයි. තව ඉස්සරහට යන විට ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඉවත් වෙයි. ඒ සමඟ ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වෙයි. අපට ලොකු හදිසියක් නැහැ මේ ආණ්ඩුව පෙරළන්න. මේ අය රට කන විදියට වැඩි කලක් යන්න පෙර ජනතාම පාරට බැහැලා මේ ආණ්ඩුව ගෙදර යවන සටන අතට ගනියි. අන්න එදාට තමයි අපි ඒ කණ්ඩායමට නායකත්වය දීලා ආණ්ඩුව ගෙදර යවන්නේ.

අද මුළු රටම පාරට බැහැලා. හම්බන්තොට ජනතාව පාරට බැහැලා. වී ගොවියෝ පාරට බැහැලා. වී අතිරික්තයක් තිබ්බ රට අද හාල් පිටරටින් ආනයනය කරන තත්ත්වයට වැටිලා. අධර්මිෂ්ඨ පාලකයන් සිටින විට රටට මෙවැනි විපත් සිදුවෙනවා. රටේ අරගල ඇති වෙනවා. රජකාලයේ ඉඳන්ම එහෙමයි. මේ අයගේ ධර්මය කටින් විතරයි. වැඩ සේරම අධර්මිෂ්ඨයි.

මේ රටේ ජනතාවගේ හීනය තමයි මේ ආණ්ඩුව ගෙදර යැවීම. අපෙත් තියෙන්නේ දැන් ආප්ප න්‍යාය තමයි. අපි ඒ න්‍යායට අනුව කටයුතු කරන විට මාධ්‍යයටත් දැනගන්න ලැබෙයි. ඉදිරියේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සියලු ජාතීන් එකතු වෙන විට මාධ්‍යවේදීන්ටත් අප සමඟ එකතු වෙන්න ලැබෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තමයි දවල් මිගෙල් රෑ දනියෙන් ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ. ඒ අය දවල්ට මෛත්‍රි මහත්තයා එක්ක ඉඳලා රෑට හොරෙන් ඇවිත් මහින්ද මහත්තයා හම්බ වෙනවා. ඔවුන් මහින්ද මහත්තයාට කියනවා මේ ආණ්ඩුව වෙනස් කරන්න අපිත් සහයෝගය දෙනවා කියලා.

දේශපාලනයේ සදාකාලික හතුරොත් නැහැ. සදාකාලික මිතුරොත් නැහැ. දේශපාලනඥයන් සැමවිටම හිතන්න ඕනේ රට ගැන. ඔවුන් කටයුතු කළ යුත්තේ ප්‍රතිපත්තිගරුකවයි. කවුරු හරි පෞද්ගලික වාසි ප්‍රයෝජන නොබලා අප සමඟ එකතු වෙන්න එනවා නම් ඔවුන් එකතු කර ගන්න අපි සූදානම්. මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad