ආපදාවට ලක්වූ නිවාසවලට විදුලි සහන ලැබෙන්නේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

ආපදාවට ලක්වූ නිවාසවලට විදුලි සහන ලැබෙන්නේ මෙහෙමයි

ආපදාවට ලක්වූ නිවාසවලට විදුලි සහන ලැබෙන්නේ මෙහෙමයි
පසුගිය දිනවල ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණදුන් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ විදුලි සහන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් පහත පරිදිය.

“විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය දිනවල ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණදුන් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ විදුලි සහන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ තුළින් පහත සඳහන් සහන සැලසෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ඒ අනූව මුළුමණින්ම හානියට පත්වූ නිවාස හිමියන්ගේ මෙතෙක් අයවීමට තිබූ විදුලි බිල්පත් අයකර නොගැනීමටත්, ආපදාවට පත්වූ නිවාස සඳහා මැයි සහ ජූනි මාසවල විදුලි බිල්පත් ගෙවීම සඳහා ජූලි මස සිට බලපාන පරිදි මාස 2ක සහන කාලසීමාවක්  ලබාදීමටත්, ජලගැලීමෙන් විනාශයට පත්වූ නිවාසවලට නැවත විදුලි සබඳතාවය ලබාදීම නොමිලේ සිදුකිරීමටත්, එසේ නැවත සබඳතාවය ලබාදීමේදී නිවාසවල අභ්‍යන්තර තැතදුම් පවා පරීක්ෂාකිරීම නොමිලයේ සිදුකර දීමටත්,

තම නිවාස අනාරක්ෂිත බැවින් තාවකාලික නිවාස වල රැඳවු අය වෙනුවෙන් එම තාවකාලික රැඳවුම් ස්ථාන වලට මාස 06 ක කාලසීමාවක් නොමිලයේ විදුලිය ලබාදීමටත්,

නව නිවාස වලට යාමට සිදුවන විදුලි පාරිභෝගිකයන්ට එම නව නිවාස වලට යාමේදී නොමිලයේ විදුලි සබඳතාවය ලබාදීමටත්,

GP 1 කණ්ඩායමට අයත්වන 42 KVA ක ප‍්‍රමාණයකට අඩුව විදුලිය ලබාගන්නා කුඩා ව්‍යාපාරිකයින්ට, මැයි සහ ජූනි මස බිල්පත් ජූලි මස සිට බලපාන පරිදි මාස 06ක, වාරික 6ට බෙදා ගෙවීමට අවස්ථාවක් ලබාදීමටත්,

මේ වනතෙක් විසඳී නොමැති ඔවුන්ගේ විදුලි ගැටළුවලට විසඳුම් ලබාදීමට දීපව්‍යාප්ත විදුලි ජංගම සේවා පැවැත්වීමටත්,   

මෙම වැඩපිළිවෙල මේ මස 18 දින පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි මේ සහන වැඩසටහන යටතේ පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad