“සිංහල සීයා සිංහයෙක්ද?” — ‘සිංහ ලේ’ සහ මරියතුමියගේ කන්‍යා භාවය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

“සිංහල සීයා සිංහයෙක්ද?” — ‘සිංහ ලේ’ සහ මරියතුමියගේ කන්‍යා භාවය

සිංහල ජාතියේ සම්භවය පිළිබඳ දීපවංශයේ සහ මහාවංශයේ දැක්වෙන සිංහබාහු කතා පුවත මුල් කරගෙන සංවාදයක් පැන නැගී ඇත. වංශකතා අනුව සිංහල ජාතියේ ජෛවීය මුලාරම්භය පිය පාර්ශවයෙන් සිංහයෙකු වෙතත් මව් පාර්ශවයෙන් වගුරට වගු රජුගේ දියණිය වෙතත් දිව යයි. 

සිංහයා සහ සුරූපි වගු රජුගේ දියණිය අතර සංවාසයෙන් බිහිවන්නේ සිංහබාහු සහ සිංහසීවලී නම් නිවුන් දරැ දෙපළකි. ඒ දෙපළගේ එකතුවෙන් බිහිවන වැඩිමහල් දරැවා විජය කුමරැ ය. බුදුරාජාණන් වහන්සේ පිරිණිවන් පෑ දිනයේ ලංකාවට ගොඩ බසින්නේ මේ විජය කුමරැ ය; එනම් වංශකතා අනුව විජය කුමරැගේ සීයා තිරිසන් සතකු වන සිංහයෙකි.

මේ කරැණ ඉස්මතු කරමින් මෑතක දී එක්තරා පුද්ගලයකු රෑපවාහිනි වැඩසටහනක දී පැවසුවේ සතකු හා සංසර්ගයේ යෙදිම ශ්‍රී ලංකාවේ නීතියට පවා පටහැනි බවත්, මිනිසුන් සතුන් අතර සංසර්ගයෙන් දරැවන් බිහිවිය නොහැකි නිසා සිංහල ජාතියේ ජෛවීය උපත පිළිබද මිත්‍යාව ඉවත දැමිය යුතු බවත් ය. කුමන වෛද්‍ය විද්‍යාව අනුව බැලුව ද මිනිසුන් සතුන් අතර සංසර්ගයෙන් දරැවන් බිහිවිය නොහැක. ඒ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. 


එහෙත් මේ ප්‍රශ්න කිරිම් සිදු කරන්නේ සිංහලයා කෙරෙහි ඇති අසිමිත වෛරයකින්, අපහාස කිරිමේ පරමාර්ථයෙන් නිසා මේ ගැන වැඩි දුරටත් සාකච්ජා කළ යුතුය. අනෙක් අතට සිංහයකු හා සංවාසයෙන් දරැවන් බිහිවිය හැකි ද යන ප්‍රශ්නය නඟන මේ කවරකු හෝ කන්‍යාවියක වූ මරියතුමියට දරැවන් ලැබනේ කෙලෙස ද යන ප්‍රශ්නය නගා ඇති ද යන්න ද සොයා බැලිය යුතුය.

පැහැදිලිවම වංශකතා කතුවරැන් හෝ මේ කතාව නිර්මාණය කළ පුද්ගලයා හෝ පුද්ගලයන් පවසා ඇත්තේ ප්‍රබන්ධයකි. ජෛවීයව සිදු විය නොහැකි දෙයකි. එසේ නම් එවැන්නක් පවසා ඇත්තේ ඇයි? සිංහබාහු කතාව දෙස විමසුම් ඇසකින් බැලිමෙන් පෙනීයන්නේ සිංහල ජාතියේ ජෛවීය මූලාරම්භය එක් තැනකින් ඔබ්බට ගෙන යාමට ප්‍රබන්ධකරැට අවශ්‍ය නොවූ බවයි . කාලවකවානුව ගතහොත් එය ගෞතම බුදුන් වහන්සේ දඹදිව වැඩ සිටි කාලයට සමාන්තර කාලවකවානුවකි. 


පියා සිංහයෙකු කී විට එම කතාව එතැනින් නිමා වේ. සිංහයාගේ පිය සිංහයා කවුදැයි සොයා යෑමට කිසිවකුට අවශ්‍යා නොවේ. ඊළගට එම සිංහයාගෙන් හටගත් තවත් දරැ පරම්පරාවක් නැති බව දැක්වීම සඳහා සිංහයා මරා දමයි. එය සිදු කරනුයේද සිංහ පුතා (සිංහබාහු) විසිනි. මෙය ද ජෛවීය මරණයක් නොව ප්‍රබන්ධයකි. ඉන් අර්ථ ගැන්වන්නේ සහ වංශ කතාවේ විස්තර කෙරනුයේද අන් කවරකුට හෝ සිංහයා මරා දැමීමට නොහැකි වු බවයි. එනම් සිංහයාගේ, පුතුට පමණක් දෙවෙනි වන අනභිබවනීයත්වයයි. 

ජාතියේ ජෛවීය ආරම්භයේ අනන්‍ය බව තහවුරැ කිරීමට වංශකතා කතුවරයා ඊළග පරපුර බිහි කරවන්නේ ද සහෝදර සහෝදරියන් වූ සිංහබාහු සහ සිංහසීවලිගේ එකතුවෙනි. ඔවුහු නිකම්ම සහෝදර සහෝදරියන් නොව නිවුන් සහෝදර සහෝදරියන්‍ ය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ අන් ජනවර්ග, ජන කොටස්, වංශ, ගෝත්‍ර සමග සෘජුව සම්බන්ධ නොවූ ඉන් පරිභාහිරව හටගත් ජාතියක මුලාරම්භය ලිවීමට වංශකතාකරැට වූ අවශ්‍යතාවය යි. 

එම අවශ්‍යතාව පැන නගිනුයේ ධර්මය ආරක්ෂා කරන ජාතිය සිංහලයන් බව ඒත්තු ගැන්වීමේ දී ය. බුදුරාජාණන් වහන්සේගේ පරිනිර්වාණ දිනයේ දී විජය කුමරැ ලංකාවට ගොඩබසින බව වංශකතාකරැ දක්වන්නේ ඒ උදෙසා ය. කන්‍යාවියක වූ මරියතුමියගේ කුසින් ජෙසුස් වහන්සේ බිහිවිම පිළිබඳ ප්‍රබන්ධය ද ඒ ආකාර වේ. කන්‍යායාවියක දරැවන් ලැබීම වෛද්‍ය විද්‍යාත්මකව සිදු නොවිය හැකි දෙයකි. එහෙත් ඒ තුළින් පවසන කතන්දරය තේරැම් ගන්නා බැවින් අපි එයට ගරැ කරමු. ඒ සඳහා අපහාස කිරීමේ අවශ්‍යතාවයක් කිසිදු බෞද්ධයෙකුට හෝ ඇතයි මම නොසිතමි. 

මෙහි දී ප්‍රබන්ධකරැට අවශ්‍ය වන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ගේ පුත්‍රයකු බව පැවසීමටය. එහෙත් පුරැෂයෙකු සමග එක්වීමෙන් දරැවෙකු ලැබූ බව පැවසී නම් පියාගේ කුලමල ගෝත්‍ර ගැන සොයමින් ඔහුගේ සම්භවය ගැන ප්‍රශ්න කරන බැවින් එම ප්‍රශ්න මගහැර ජේසුස් වහන්සේ පූජනියත්වයට පත් කිරීමට මරියතුමිය කන්‍යාවියක බව දක්වා ඇත. එමගින් දෙවියන් වහන්සේගේ දායකත්වය වඩා ස්ථිර ලෙස තහවුරැ කෙරේ. සිංහබාහු කතාවේ දී වංශකතාකරැ සිංහයෙකුම මේ සඳහා යොදා ගත්තේ ඇයි දැයි කෙනෙකුට තවත් ප්‍රශ්නයක් මතුවිය හැකිය. 

සිංහයා වෙනුවට දෙවියෙකු , බ්‍රහ්මයකු හෝ නාගයකු (නාග නමින් හඳුන්වන දේව කොට්ඨාශය) යොදා ගත්තා නම් තිරිසනකුගෙන් පැවත එනවා නොකියා දෙවියකුගෙන් පැවත එනවා යැයි කීමට නොතිබුණා නොවේදැයි උගතෙකු ඇසුවහොත් ඒ සඳහා පැහැදිලි කිරීම කුමක් විය හැකිද? දෙවියන්, බ්‍රහ්මයන් හෝ නාගයන්ගේ දස්කම් විස්කම් බොහො කතුවරැ විස්තර කර තිබුණ ද රණ ශූරත්වය, නායකත්වය, අභිමානය පිළිබද ජීවමාන සංඛේතය සිංහයායි. ඊටත් වඩා ඉතාම වැදගත් කරුණක් ඇත. එනම් සිංහල ජාතියේ හැසිරීම පිළිබඳ සියුම් නිරීක්ෂණයකි. 

සිංහයා සාමාන්‍යයෙන් කම්මැලි සතෙකි; සෙවණක් ඇති තැනකට වී තමන්ගේ පාඩුවේ නිදහස් සුව විඳිමින් සිටියි; පරිසරයෙන් පැමිණෙන තර්ජන ඌ එතරම් මායිම් නොකරයි; විරැද්ධවාදියකු මේ නම් දුර්වලයෙකුයැයි අනුමානයෙන් සිංහයාට කිට්ටු කරයි; ඇතැම් විට ලඟට පැමිණ වලිගය සපා කෑවද සිංහයා වගේ වගක් නැතුව සිටියි; එහෙත් එක් සීමාවකට ළගා වූ පසුව (බිත්තියට හේත්තු කළ පසු) සිංහයා අවදි වී පහර දී සතුරා කීතු කීතු කර දමා නැවතත් වගේ වගක් නැතිව වැතීර සිටියි. 

සිංහයාගේ මේ සීමාව ද වරින් වර වෙනස්වන පුරෝකථනය කළ නොහැකි එකකි. මේ සියවස් විස්සකට අධික කාලයක් ජාතියක් ලෙස සිංහලයා ප්‍රකට කළ ලක්ෂණය ම නොවේ ද ? අඩුම ගනනේ ක්‍රි.ව. හතර වන සියවස වන විටත් මහා විහාරීය භික්ෂුන් වහන්සේලා සිංහල ජාතියේ මේ ලක්ෂණය හොඳින් දැන සිටින්නට ඇත. මාර්ග ඵල ලාභි භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් හා අනුශාසනා ද නොඅඩුව ලැබුණු මහා විහාරික භික්ෂුන් වහන්සේලා ජාතියේ ජෛවීය උපතට (සංස්කෘතික උපත දුටුගැමුණු රජු හා රැවන්වැලිසෑය හා බැඳේ ) සිංහයෙකු සම්බන්ධ කිරීමට නොපැකිළිව තීරණය කළේ සිංහලයාගේ සිංහ හැසීරීම ගැන නොදැන විය නොහැකිය.

ඇතැම් විට විජය කුමරැ පැමිණෙන විටම සිංහයන් තේමා කරගත් ජනශ්‍රැති රැගෙන ආවා විය හැකි ය; පසුව මහා විහාරික භික්ෂුන් වහන්සේලා ඒවා ඉතා නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කළා විය හැකිය. සිංහයා තේමා කරගත් ජනශ්‍රැති සිංහයන් දෑසින් දුටු, ඔවුන්ගේ හැසිරිම් නිරික්ෂණය කළ ජන කොටස් අතින් නිර්මාණය වීමට වැඩි ඉඩකඩක් ඇත. මේ කලාපයේම සිංහයන් සිටිනුයේ ඉංදියාවේ ගුජරාටි ප්‍රදේශයේ පමණි. විජය කුමරැ පැමිණියේ නැගෙනහිර ඉංදියාවේ බෙංගාලි දේශයෙන් බව සාමාන්‍ය පිළිගැනීමයි. 


එහෙත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජය කුමරැ ගුජරාටියෙන් පැමීණීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. මහාචාර්ය සී. ඩබ්. මද්දුමබණ්ඩාර මහතා විජය කුමරැ පැමිණි කාලයේ දේශගුණය, සුළං සහ දියවැල් අධ්‍යානයෙන් පෙන්වා දෙන්නේ ද ගුජරාටි ආශ්‍රිත ප්‍රදේශයකින් ඔහු පැමිණිමට වැඩි ඉඩ කඩක් ඇති බවයි. විජය කුමරැ පැමිණි කාලවකවානුව සැලකූ විට ඔහු බටහිර බෙංගාල ප්‍රදේශයෙන් නික්මුණේ නම් ලංකාවට පැමිණීමට වඩා බුරැමය දෙසට ගමන් කිරීමට වැඩි ඉඩක් තිබු බව මහාචාර්ය මද්දුම බණ්ඩාර පවසයි. 

තව ද මෑතක දී කෙරැණ ජාන අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ සිංහලයාගේ ජාන වලින් වැඩි ප්‍රමාණයක් (72%) බෙංගාල ප්‍රදේශයේ ජනතාවට සමීපත්වයක් දක්වන බවයි. නමුත් ගුජරාටි ජනයාගේ ජාන වලට ද නෑකමක් දක්වන බව (12%) ඉන් හෙළි වී ඇත. කිසිවකුට හෝ නූතන බටහිර විද්‍යාත්මක දැනුම යොදා ගෙන සිංහලයාගේ ප්‍රභවය අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් මේ ගැන වැඩි දුරටත් පර්යේෂණ කළ හැකි ය. එසේ නොමැතිව බටහිර ජීව විද්‍යාවවත් හරිහැටි නොදැන ඒ මත පදනම්ව සංස්කෘතික කාරණා විවේචනයට ලක් කිරිමට විහිළුවකි.

කෙසේ වෙතත් සිංහබාහු කතාව ජෛව විද්‍යාත්මකව හරි ද වැරදි ද දැයි බැලීමට අමුතු පරීක්ෂණ හෝ පණ්ඩිත කතා අවශ්‍ය නොවේ. එහි දැක්වෙන්නේ සිංහල ජාතියේ ජෛව උපතේ පාරිශුද්ධත්වය දැක්වීම සඳහා නිර්මාණය කළ විශිෂ්ට ප්‍රබන්ධයකි. එහි ඉතා ප්‍රබල අරැතක් ඇත. මෙකී අරැත වටහා ගැනීමට නොහැකි පුහු වීරයන් සිංහබාහු කතාවට අභියෝග කරන්නේනම් මරියතුමියගේ කන්‍යාභාවයටත් ඒ හා සමාන තවත් බොහො දේටත් අභියෝග නොකර සිංහලයාගේ සිංහ තාත්තා ගැන පමණක් කතා කරන්නේ ඇයි දැයි පැහැදිලි කළ යුතුය.

– වෛද්‍ය චන්න ජයසුමන

No comments:

Post a Comment

Post Bottom Ad