පොලිස් කාන්තාවන් දෙදෙනා දූෂණය වූ දැරිවියගේ කණට ගැහුවේ ඇයි ? (මෙතෙක් කතාව) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

පොලිස් කාන්තාවන් දෙදෙනා දූෂණය වූ දැරිවියගේ කණට ගැහුවේ ඇයි ? (මෙතෙක් කතාව)

අතවරයට ලක්ව රෝහල් ගත කර සිටි දැරිවියක්ව පරීක්ෂණ සදහා කැදවාගෙන ගොස් ඇයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනාව එක් අයෙකුට රුපියල් 5000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 02 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස ආණමඩුව දිසා විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (28)  නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුවය.

ආණමඩුව - මහඋස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරිවියක්ව තම පෙම්වතා විසින් දුෂණය කළ බව කියන පැමිණිල්ලක් පසුගිය 05 වැනිදා  ආණමඩුව පොලීසියට ලැබී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කර ඇති ආණමඩුව පොලීසියේ නිලධාරීන් දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර  සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ආණමඩුව පුත්තලම පාර පදිංචි එම සැකකරු වයස අවුරුදු 15 ක් වන බාල වයස්කරුවෙකි. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුව මේ වන විට පරිවාස බාරයට පත් කිරීමට නියෝග කර ඇත.

පසුගිය 08 වැනිදා එවකට ආණමඩුව පොලීසියේ සේවය කරමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු වන (3090) අනුෂා සහ (9258) සුදේශිකා යන නිලධාරිනියන් දෙදෙනා විසින් අතවරයට ලක්ව රෝහල් ගත කර සිටි දැරිවියව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අවසරය මත ඇය දුෂණයට ලක්වූ බව කියන ආණමඩුව නගරයේ පිහිටි ලැගුම් හලක් වෙත කැදවාගෙන ගොස් ඇත. 

ඒ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරීම සදහාය.
ඉන් පසුව පොලිස් නිලධාරීනියන් දෙදෙනා විසින් නැවතත් දැරිවිය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට බාර දී ඇත. පරීක්ෂණ සදහා කැදවාගෙන ගිය ‍කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනා තමන්ගේ කණට ගැසූ බව (අනේ මගේ කණ රිදෙනවා යනුවෙන් ඇය පවසා ඇත) පසු දින එනම් 09 වැනිදා රෝහල් ගත කර සිටින දැරිවිය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත පවසා ඇත.

මෙම සිද්ධිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දන්වා ඇත.ඒ අනුව ක්‍රියාත්මක වී ඇති ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිද්ධියට සම්බන්ධ කාන්තා පොලිස් නිලධාරීනියන් දෙදෙනාව පසුගිය 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආණමඩුවේ සිට කල්පිටිය පොලීසියට ස්ථාන මාරු කර මේ සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇත.

ආණමඩුව සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශණ කටයුතු සිදු කර ඇත්තේ නවගත්තේගම පොලීසියේ ස්ථානාධිපති නවීන් ඉන්ද්‍රජිත් දිසානායක මහතා විසිනි. එම විමර්ශණයෙන් අනතුරුව නවගත්තේගම පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් පසුගිය 19වැනිදා සැකකාර පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත වැඩි දුර විමර්ශණ පැවැත්වෙන අතර එහිදී සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු හෙළි කර ගැනෙනු ඇති. 

පුත්තලම - ජූඩ් සමන්ත

No comments:

Post a Comment

Post Bottom Ad