"මහ බැංකු අධිපති කාලේ බැඳුම්කර වංචා චෝදනා ඇති කබ්රාල් උපදේශක තනතුරකට සුදුසු පුද්ගලයෙක් නොවේ" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 1, 2020

"මහ බැංකු අධිපති කාලේ බැඳුම්කර වංචා චෝදනා ඇති කබ්රාල් උපදේශක තනතුරකට සුදුසු පුද්ගලයෙක් නොවේ"

අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ලෙස කටයුතු කරන ලද සමයේ බැඳුම්කර වංචාවක් සිදුව ඇති බවට වෝහාරික විගණන වාර්තාවෙන් බරපතළ චෝදනාවක් තිබෙද්දීත් ඔහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කටයුතු කිරීම නුසුදුසු බැවින් එම තනතුරෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් එසේ අස්වෙන්නේ නැතිනම් ආණ්ඩුව විසින් ඔහු අස්කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටි මන්තී‍්‍රවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

"මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු වෝහාරික විගණනය සම්බන්ධයෙන් මේ වනවිට කාගේත් අවධානය යොමු වෙලා තිබෙනවා. එහි සීඞී පිටපතක් පමණක් මේ වනවිට අපිට පාර්ලිමේන්තුවෙන් ලබා දීලා තිබෙනවා අධ්‍යයනය කිරීම සඳහා. පසුගිය අවුරුදු පහ මුළුල්ලේම අපේ රජයට එල්ල වූ ප‍්‍රධානතම චෝදනාව වූයේ මේ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී වංචාවක් කළා කියන කාරණාව. 2015 පෙබරවාරි 28 වැනිදායින් පටන්ගෙන අවස්ථා කිහිපයකදී බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට විශාල පාඩුවක් වෙලා තිබෙනවා කියන කාරණය සහ ඊට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දිය යුතුයි යන මතයත් ඉදිරිපත් වුණා. 2015 දී මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් අපගේ රජය අපරාධ පරීක්ෂණ සිදු කරලා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ සාක්ෂි අගය කරලා ඉන්පසුව ති‍්‍රපුද්ගල දූෂණ විරෝධී විශේෂ මහාධිකරණයෙන් නඩු පවරලා තිබෙනවා. හිටපු මහ බැංකු අධිපතිවරයාටත්, ඔහුගේ බෑණා අර්ජුන් ඇලෝෂියස් සහ මේ වංචාවට සම්බන්ධ කාර්ය මණ්ඩලයට නඩු පවරලා තිබෙනවා. දැන් ඒ එක කි‍්‍රයාදාමයක් මේ පරීක්ෂණ කටයුතු අතර වාරයේදී ඔබට මතක ඇති හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර සිටියා. මේ කොමිෂන් සභාවේ අවසාන වාර්තාවක් නිකුත් වුණා. එමගින් ප‍්‍රකාශ කළා 2015 පසුව බැඳුම්කර නිකුත් කිරීමේදී වංචා දූෂණ සිදුවෙලා තිබෙනවා වගේම ඊටත් කලින් වංචා දූෂණ වෙලා තිබෙනවා ඒ නිසා 2008 සිට 2016 දක්වාත් ඉන් ඔබ්බටත් මේ පිළිබඳව පරීක්ෂා කළ යුතුයි."

"ඒ ගැන වෝහාරික විගණනයක් කළ යුතුයි කියලා. එය එම වාර්තාවේ 11 වැනි නිර්දේශයයි. ඒ අනුව එම විගණනය කිරීම දේශපාලනික කාර්යයක් නොවෙයි. එය වැදගත් කාර්යයක්. මොකද මේ වෝහාරික විගණනයක් අවශ්‍ය ද එය නීත්‍යානුකූල ද කියලා ඇතැම් අය මේ දවස්වල ප‍්‍රශ්න මතු කරනවා. දැන් මෙම වෝහාරික විගණනයම කියන්නේ සත්‍ය වශයෙන්ම මෙම ගණුදෙනුව සිද්ධ වුණු ආකාරය ගැන අධිකරණ මට්ටමේදී උපයෝගි කර ගත හැකි ආකාරයටම විශ්වාසවන්තම සහ සවිස්තරව තොරතුරු සොයා ගැනීම සඳහා කරන ලද තාක්ෂණිික කාර්යයක්. දැන් මේ සඳහා අපගේ රජයේ අවශ්‍යතාවය අනුව මහ බැංකුව විසින් මෙවැනි කාරණා පිළිබඳව පළපුරුද්ද තිබෙන ලෝකයේ විශිෂ්ටතම සහ පළපුරුදු කේ. පී. එව්. ජී. නම් ආයතනයත් වී. ඞී. ඕ. කියන ආයතනයත් එක්ව තමයි මේ සඳහා උපයෝගි කර ගත්තේ මේ ආයතන ලෝකයේම තිබෙන මෙවැනි වෝහාරික විගණනයක් ගැන පළපුරුද්ද තිබෙන විශිෂ්ටතම ආයතනයන් මීට වඩා ඉහළ ආයතන නැහැ මේ සම්බන්ධව පරීක්ෂා කරන්න. ලෝකයේ ප‍්‍රධාන විගණන ආයතන හතරක් තිබෙනවා ඒ නිසා මේ ගැන කවුරුත් සැක පහළ කරන්නේ නෑ. දැන් මෙම විගණනය අනුව වැදගත් කරුණක් තහවුරු වෙලා තිබෙනවා 2015 ට කලින් අර සෘජු මිලදී ගැනීම් තිබෙන කාලයේදීත් මේ විදිහේ බරපතළ වංචා සිදුවුණා කියන කාරණය නමුත් වෙන්දේසි ක‍්‍රමයට යෑම තුළ අපේ කාලයේ මේ ගැටලූව මතු වුණා කියන කාරණය තමයි ප‍්‍රසිද්ධියට පත්වුණේ. මෙම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ලැබෙන්නත් කලින් සහ මේ පිළිබඳ අන්තර්ගත කරුණු මාධ්‍යයටත් ලැබෙන්න කලින් එක්තරා මහත්මයෙක් කලබලයට පත් වුණා. ඔහු හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඔහු පුවත්පත්වලට ලිපි කිහිපයක් ලිව්වා වෝහාරික විගණන වාර්තාව දෝෂ සහිත වන්නේ කෙසේ ද කියලා. කෝප් කමිටුවටත් මෙය විවෘත කර ගැනීමට නොහැකි වුණා පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීම තුළ. අපි දන්නෙත් නෑ. මෙය විවෘත ලේඛනයකුත් නොවෙයි නමුත් අජිත් නිවාඞ් කබ්රාල් මේ වෝහාරික විගණනයට විරුද්ධව ලියන්න ගත්තා."

"එහෙම ලියන එක ඔහුගේ අයිතියක් විශේෂයෙන්ම ඔහු වරලත් ගණකාධිකාරිවරයෙක්. නමුත් මෙහෙම ලියන එකේ ගැටලූවක් තිබෙනවා මොකද ඔහු මුදල් ඇමැති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක. මුදල් ඇමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වෙමින් මහ බැංකු අධිපති වූ කාලයේ අතිවිශාල දූෂණයක් සිදුවුණාය කියලා මේ වාර්තාව අභියෝග කිිරීම තුළ විශාල සැකයක් ඇති වෙනවා. මේ ප‍්‍රශ්නය විසඳීමේ බලය තිබෙන්නේ මුදල් ඇමැතිවරයාටයි. මේ ප‍්‍රශ්නය ගැන ඉදිරි පියවර ගැනීමේ බලතල තිබෙන්නේ මුදල් ඇමැතිවරයාටයි වර්තමාන රජයටයි. එහි ජ්‍යෙෂ්ඨ උපදේශකයා මේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව අභියෝගාත්මක අදහස ප‍්‍රකාශ කිරීම තුළ මතු වෙන්නේ බැඳියාවන් අතර ගැටීමක්. අජිත් නිවාඞ් කබ්රාල් මහතාට අයිතියක් තිබෙනවා මේකට මගේ සම්බන්ධයක් නෑ කියලා කියන්න නමුත් ප‍්‍රශ්නය තිබෙන්නේ මුදල් ඇමැති සහ අගමැතිගේ උපදේශක වශයෙන් සිටිමින් මේ ආකාරයෙන් කි‍්‍රයා කිරීම තුළ අජිත් නිවාඞ් කබ්රාල් මහතාට පුළුවන් ද මේ තනතුර තවදුරටත් දරන්න. ඔහුගේ නම පිරිසිදු කර ගන්න ඕනේ නම් මගේ ඥාතීන් ප‍්‍රාථමික ගණුදෙනුකරුවන් විදිහට හිටියා. ඔවුනට වෙළෙඳ සමාගම් තිබුණා. නමුත් මහ බැංකු අධිපති වුණාට මම මගේ නැගණියට මගේ මස්සිනාට උදව් කළේ නෑ කියලා කියන්න පුළුවන්. දැන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ප‍්‍රශ්නය ඇතිවූ වෙලාවේ ඔහු කිව්වා මම මගේ බෑණාට උදව් කළේ නෑ කියලා. හැබැයි ප‍්‍රශ්නය වන්නේ මේ තරම් බරපතළ විදිහට සබඳතා අතර ගැටුම් තිබෙද්දී අජිත් නිවාඞ් කබ්රාල් මහතාට පුළුවන් ද මුදල් ඇමැති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා ලෙස තවදුරටත් කටයුතු කරන්න. අපි ජනාධිපතිවරයාගෙනුත් අහන්නේ ඔබගේ රජයේ ප‍්‍රධානතම ධුරයක් දරන කබ්රාල් මහතාට වෝහාරික විගණන වාර්තාව හරහා බැලූ බැල්මට පෙනෙන බැඳුම්කර වංචාවක් වෙලා තිබෙනවා කියන නිශ්චිත වාර්තාවක සඳහන් වෙලා තිබෙද්දී ඔබගේ රජයේ බරපතළ ධුරයක වගකීමක් ලබා දීම් කළ යුතු ද එය යහපාලන මූලධර්මවලට ගැලපෙනවා ද කියන කාරණය. මා විශ්වාස කරන්නේ එතුමා මේ තනතුරෙන් ඉවත් වෙලා එතුමාගේ නිර්දෝෂී භාවය පිළිබඳව සටන් කළ යුතුයි. අනෙක් අතට ඔහු එහෙම ඉල්ලා අස් වෙන්නේ නැති නම් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා. මේ විදිහේ බරපතළ චෝදනාවකට ලක් වෙලා සිටින කබ්රාල් මහතා තනතුරෙන් ඉවත් කරන්න. එදා අර්ජුන් මහේන්ද්‍රන් ගැන බරපතළ විවේචන තිබුණා. ඒවා සාධාරණයි. දැන් අද තිබෙන්නේත් ඒ දේමයිනේ. මෙවැනි බරපතළ චෝදනාවකට ලක්වුණු කබ්රාල් තවමත් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක. මේක බරපතළ ප‍්‍රශ්නයක් ඒ නිසා අජිත් නිවාඞ් කබ්රාල් මහතාට මේ තනතුර තවදුරටත් දරන්න අයිතියක් නෑ. ඔහු ඉල්ලා අස්විය යුතුයි. අස්වෙන්නේ නැති නම් අස්කළ යුතුයි."

ප‍්‍රශ්නය - ඔබට කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ආරාධනාවක් කරලා තිබෙනවාද නැති නම් ඔබ සහභාගි වෙනවාද?

පිළිතුර - කාටවත් ලිඛිත හෝ විධිමත් ආරාධනාවක් කරලා නෑ. අපි සාමුහික තීරණ ගන්න අවශ්‍යයි මේ වෙලාවේදී. මේ ප‍්‍රශ්නය මගේ පුද්ගලික ප‍්‍රශ්නයක් නොවෙයි. අනෙක අපේ මන්තී‍්‍රවරුන්ට න්‍යාය පත‍්‍රයක් ගැන හෝ වෙනත් දෙයක් ගැන දැනුවත් කරලාත් නෑ.

No comments:

Post a Comment

Post Bottom Ad