මහ ඡන්දයට මැකොගෙන් රතු එළියක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 28, 2019

මහ ඡන්දයට මැකොගෙන් රතු එළියක් !

දිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී නාම යෝජනා ඉදිරිපත් කරන අපේක්ෂකයන් සඳහා ඇප මුදල් ඉහළදැමීමක් සිදු නොවුණහොත්, අර්බුදකාරී තත්ත්වයකට මුහුණපෑමේ අවදානමක් නිර්මාණය වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අනතුරු අඟවයි.
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත් වූ බවත් ඒ නිසා එම මැතිවරණයෙදී අතිරේකව විශාල මුදලක් වැය කිරීමට සිදුවූ බවත් සඳහන් කරන මහින්ද දේශප්‍රිය මහතා, දැනට පිළිගත් දේශපාලන පක්ෂ 70ක් ලියාපදිංචි කර ඇති බැවින් එම පක්ෂ අතරින් වැඩි සංඛ්‍යාවකින් අපේක්ෂකයන් එක් එක් කොට්ඨාසයෙන් ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණයේ ලැබූ අත්දැකීම, මහ මැතිවරණයේදීත් අනිවාර්යයෙන්ම ලැබෙන බව සඳහන් කළේය.

පිළිගත් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන අපේක්ෂකයන්ද මහ මැතිවරණයට ඉදිරිපත් වන බවද ඒ අනුව වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවක් ඇතිවීමේ අවදානමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

දැනට අය කරන්නේ 1981 වසරේ නියම කළ ඇප මුදල බව පෙන්වා දෙන සභාපතිවරයා ඒ වන විට පිළිගත් දේශපාලන පක්ෂ දහයකටත් අඩු සංඛ්‍යාවක් පැවතුණු බවද අවධාරණය කළේය.

එම කාලය හා සැසඳීමේදී අද වන විට ඇප මුදල පනස් ගුණයකින් වැඩිවිය යුතු බවත් ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් තරග කරන අපේක්ෂකයකු සඳහා රුපියල් තිස්දහසක්ද ස්වාධීන අපේක්ෂකයකුගෙන් රුපියල් පනස්දහසක ඇප මුදල්ද වශයෙන් අය කළ යුතු බවද පැවැසීය.

ඇප මුදල් වැඩි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවත් අදාළ සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අපේක්ෂා කරන බවත් පැවැසූ මහින්ද දේශප්‍රිය මහතා, ඇප මුදල් වැඩි නොකළහොත් “අපිට ඇප නැති වෙනවා” යැයිද සඳහන් කළේය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය නිකුත් කළ අතුරු වාර්තාවට අනුව අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් වැඩිවීම වැළැක්වීම සඳහා නීති පද්ධතියක් ඇති කළ යුතු අතර අපේක්ෂක ඇප මුදල අවම වශයෙන් ලක්ෂ 10 දක්වා වැඩි කළයුතු බව යෝජනා කර ඇත.

ජේ.ටී. ද සිල්වා


No comments:

Post a Comment

Post Bottom Ad