ජීවිතේට ටියුෂන් නොගිහින් උසස් පෙළට ඒ 3ක් ගත්තු මධුමාලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 28, 2019

ජීවිතේට ටියුෂන් නොගිහින් උසස් පෙළට ඒ 3ක් ගත්තු මධුමාලි

ඉසංකා මධුමාලි රත්නසිරි මීට වසර දහනවයකට පෙරාතුව උපත ලැබුවේ අනුරාධපුර සිට කිලෝමීටර් පහළොවක් පමණ ඈතින් පිහිටි ගමකය. ඒ ගම නාච්චදුවය. මේ ගම වූ කලී කේඩෑරි වී ගිය ගස් කොළන්වලින් පිරුණු ගමකි. නියං කාලයට බොන්නට දිය පොදක් නැතිව යන බිම් පෙදෙසක උපන් ඇයට කුඩා කල සිට දුක හොඳට දැනිණි.

නමුත් ඉසංකා දියණිය මේ කර්කශ වූ මහ පොළවට ශාප කළේ නැත. බඩවියත රැකගනු පිණිස මේ කර්කශ මහ පොළව සමඟ මවත් පියාත් පොරබදද්දී මේ පුංචි කෙළි පැටික්කියද ඇයට හැකි පමණින් ඒ දෙපළට උදවු පදවු කළේ මේ පරිසරයේ උපදින කොයි දරුවටත් උරුම දෙය ඇයටද තිළිණ කරමිනි.

ඉසංකා ඉගෙන ගත්තේ කළුවිල සේන මහ විද්‍යාලයේය. ඇය සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ පසු උසස් පෙළ විෂය ධාරාව ලෙස තෝරා ගත්තේ වාණිජ අංශයය. කුඩා කල සිටම ඇය පාසල් ගියේ බොහෝ අමාරුවෙනි. නැති බැරි දුප්පත්කම සතර අතින් පැමිණ වධදෙද්දී ඒ සියල්ල ඇය උපේක්ෂාවෙන් විඳ ගත්තේ “කොහොම හරි මම ඉගෙන ගන්නවා” යන අධිෂ්ඨානයෙන් සිත දැඩි කරගනිමිනි.

ඉසංකාගේ පියා සහ මව මහපොළව සමඟ උරෙන්උර ගැටී බඩවියත රැක ගන්නට වලිකද්දී, බඩගින්නට යට නොවී ඇය දිනපතා පාසල් ගියාය.උසස් පෙළ පන්තියට ගිය පසු නම් ඇගේ පාසලේ බොහෝ මිතුරු මිතුරියන් අනුරාධපුර නගරයේ ඇති උපකාරක පන්තිවලට ගියද ඇයට ඒ පින තිබුණේ නැත.”ඉසංකා වරෙන් පන්ති. පන්ති නොගොහින් කොහොමද ‘ඒලෙවල්’ ගොඩදාගන්නෙ..? පාසලේ බොහෝ මිතුරියන් ඇගෙන් විමසද්දී ඇය නෙතට නැඟුණු කඳුළැලි නෙතු තුළම සඟවා ගත්තේ කාටත් නොපෙනෙන්නටය.

“මම කොහොමද පන්ති යන්නෙ..? අපි දුප්පත්නෙ” එහෙම කියන්නට ඇයට සිතුණත් එසේ කියන්නට නොගියේ ඒ වදන් ගිනි අව්වට පිච්චෙන සුළඟට මුසු වී ඒ වචන ටික ගසාගෙන යන බව අෑ දන්නා නිසාය.” මේ දිරිය දියණිය නැතිබැරිකමට සාප කර කර සිටියේ නැත. දුප්පත් අම්මාට තාත්තාට දෙස් දෙවොල් තබන්නට ගියේද නැත. අධ්‍යාපනයට පයින් ගසා ගාමන්ට් රස්සාවකට යන්නට තීරණය කළේද නැත. කර්කශ මහපොළව හා හැප්පි හැප්පී මේ විසම සමාජයෙන් ගොඩ එන්නට ඕ තීරණය කළාය. “පුතේ පන්තියකට පලයන්. පන්ති නොගොහින් කොහොමෙයි. මම පුළු පුළුවන් විදිහකට සල්ලි දෙන්නන්. වේලක් දෙවේලක් නොකා හරි ඉන්න බැරිය” දුප්පත් පියා එලෙස කී වාරයක් නම් කියන්නට ඇද්ද..?

ඒ හැම විටම ඉසංකාගේ දෙනෙත්වලට නැඟුණු කඳුළු කැට දෙකොපුල් දිගේ රූරා ගලා ගියේ නැත. සිද්ධ වූයේ නැති බැරිකම ආශීර්වාදයක්ව ඇගේ සිත තව තවත් දැඩි කිරීම පමණකි. මොන තරම් සිත සවිමත් වීද යත් ඇය දුක එන හැම විටම අතට ගත්තේ පත පොතය. දිනපතාම පාසල් ගියාය. ගෙදර පැමිණ ගේ ‍දොර කටයුතු කළාය. ඉවුම් පිහුම්ද කළ ඇය ඉඩ ලද හැම විටම පතපොත අතට ගෙන පාඩම් කළාය. එහි ප්‍රතිඵලය වූයේ මෙවර උසස් පෙළ විභාගයේදී පෙරළිකාර ජයග්‍රණයක් ඇයට උරුම වීමය. ඒ ඒ විෂය ධාරා යටතේ පළමු තැන් ගත් අතිවිශිෂ්ටයන්ගේ ජයග්‍රහණ හමුවේ මේ දියණියගේ ජයග්‍රහණය වටින්නෙ එය දුප්පත්කමත් කර්කශ පොළවත්, බඩවියතත් සමඟ පොර බදා ලද විජයග්‍රහණයක් නිසාය.

ඇය කළුවිලසේන මහා විද්‍යාලයේ වාණිජ්‍ය අංශයෙන් විෂයයන් තුනටම ‘A’ සාමාර්ථ ලබාගත් පුවත අසා වැඩියෙන්ම සතුටු වූයේ අසරණ දුප්පත් පියාත් මවත්ය. ඊට පසුව කළුවිල සේන මහා විද්‍යාලයේ ගුරු දෙගුරුන්ගේ නෙතින් වැටුණේ සතුටු කඳුළුය.

ඇත්තටම ඉසංකා දිරිය දියණියගේ මේ ජයග්‍රහණය අසමසම එකකි. කිසිම දවසක උපකාර පන්තියකට පා නොතැබූ ඇය ඉගෙන ගත්තේ කළුවිල, සේන මහා විද්‍යාලයේ ගුරු දෙගුරුන් ඉගැන් වූ දේවල් අධ්‍යයනය කරමිනි. මේ ජය අසමසම වන්නේ නැතිබැරි දුප්පත්කමත් හතර වටින් විත් පහර දෙද්දී ඉන් නොසැලී ආත්ම ශක්තියෙන් තනිවම පාඩම් කරමින් දිස්ත්‍රික්කයේ තිස්නව වැනි තැනට සමත් වූ නිසාය. මේ දිරිය දියණිය සිය ජයග්‍රහණය පිළිබඳ නිහතමානී ලෙස කතා කළේ මෙලෙසිනි.

“ඇත්තටම මේ ජයග්‍රහණය පිළිබඳ නිහතමානීව සතුටු වෙනවා. අපි දුප්පත් මිනිස්සු. තාත්තා ගොවිතැන් කරලා තමයි අපේ බඩ වියත රකින්නෙ. මට පන්ති යන්න සල්ලි තිබුණෙ නෑ. ඒත් මේ දුප්පත්කමින් අම්මයි තාත්තයි පවුලම ගලවගන්න ඕනෙ කියන අධිෂ්ඨානය මට තිබුණා. කළුවිල සේන මහ විද්‍යාලයේ විදුහල්පති නිමල් ජයවික්‍රම සර්, ගිණුම්කරණය ඉගැන්වූ නිලන්ති ධර්මසේන මිස්, ආර්ථික විද්‍යාව ඉගැන්වූ මාලනී රණතුංග, ව්‍යාපාර අධ්‍යයනය විෂය ඉගැන්වූ සේපාලිකා චන්ද්‍රසේකර මිස්ලාට ගොඩාක් පින්. මම දිනපතාම පාසල් ගියා. දහම් පාසල් ගියා. දෙවියො වගෙ මට උගන්වපු ගුරුවරු තුන්දෙනා මට ප්‍රශ්න පත්‍ර පවා ගෙනත් දුන්නා. අනෙක් ළමයි ටියුෂන් පන්ති යන නිසා මේ මිස්ලා මට කළ උදවු උපකාර අපමණයි. මගෙ සහෝදරියන් තුන්දෙනාත් මට උදවු කළා. රෑ 10.00 ඉඳන් පාන්දර 3.00 විතර වෙනකන් මම පාඩම් කළා. 3.00ට විතර නිදාගෙන 6.00 නැඟිටලා පාසල් ගියා යැයි ඇය කියා සිටියාය.

ඉසංකා මධුමාලි රත්නසිරි දිරිය දියණියගේ ජයග්‍රහණය නිසා කළුවිල සේන මහා විද්‍යාලයේ යසස හතර අත ගලායද්දී විදුහල්පති නිමල් ජයවික්‍රම මහතාද සතුටු වන්නේ ඒ ජයග්‍රහණය දුප්පත් කොයි කවුත් පාඩමට ගතයුතු තරමේ එකක් යැයි කියමිනි. අද මෙරට අධ්‍යාපනය එහෙම පිටින්ම වියවුල් සහිතය. නිදහස් අධ්‍යාපනය බෝඩ් ලෑල්ලක පමණක් ලියැවී තිබියදී ටියුෂන් දිසාපාමොක්ලා රුපියල් ශතවලට අකුරු උගන්වන්නට පටන් ගෙන ඇත.

එහෙව් රටක, එහෙව් කලක අනුරාධපුර, නාච්චාදූව කර්කශ පොළොවේ උපන් දිරිය දියණි ඉසංකා මධුමාලි දුව ටියුෂන් නොමැතිව විෂයයන් තුනටම ඒ සාමාර්ථ ගැනීම අගය කිරීමේ වරදක් අපි නොදකිමු. මෙවැනි දිරිය දූ පුතුන්ගේ කතා තව බොහෝ තිබෙන බවද ඇත්තය. නමුත් මේ දියණිය සිතට දිරිය ගෙන නැතිබැරිකමට එරෙහිව කළ සටන ජයග්‍රහණයකින් කෙළවර කර හමාරය. දුප්පත් මවුවරුනි, පියවරුනි, දූ පුතුනි මේ විෂම සමාජය තුළ සිතට දිරිගෙන සියලු බාධක ජයගත යුතුය. මේ දියණිය අප කොයි කාටත් කියා දී ඇත්තේ ඒ පාඩම යැයි නොබියව කිව හැක්කේය.

ශිරාන් රණසිංහ.
පසුබිම් වාර්තා හා ඡායාරූප අනුරාධපුර – මහේෂ් විජේසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad