සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ 82 ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 30, 2019

සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ 82 ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්


සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ අසූ දෙදෙනෙකුට වෛද්‍ය වෘත්තියේ නියැලීමට පහුසකම් සලසමින් ඔවුන් ලියාපදිංචි කරගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළා.

ඒ, මාලඹේ සයිටම් විද්‍යාලයේ උපාධිය ලබාගත් සිසුන් තිදෙනෙකු ගොනු කළ පෙත්සම් තුනක් විභාග කිරීමෙන් අනතුරුවයි.

මෙම පෙත්සම් විභාග කරනු ලැබුවේ, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය . පී. පද්මන්සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

ඒ අනුව අද සිට සති තුනක් ඇතුළත ඔවුන් ලියාපදිංචි කර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ ය.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ කසුන්දා සුරියආරච්චි සිසුවිය ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය 2016 වසරේදී සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරගන්නා ලෙසට නියෝග කර තිබිණ.

අනතුරුව එම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේදී අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය අනුමත කරනු ලැබී ය.

එසේ කර තිබියදීත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තමන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර නොගැනීමට එරෙහිව සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ගොනුකර තිබිණ.

ඒ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ, පෙත්සම්කාර සයිටම් උපාධිධාරින් තිදෙනාට රුපියල් ලක්ෂ 2 බැගින් රුපියල් ලක්ෂ 6 ක නඩු ගාස්තු ගෙවන ලෙසයි.

එහිදි වග උත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සයිටම් වෛද්‍ය උපාධිධාරින්ගේ මූලික අයිතිවාසිකම් එනම් සැමට එක ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම සහ ඕනෑම අයෙකුට තමන් කැමැති වෘත්තීයක නියැලීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට වෛද්‍ය පනත අනුව පැවරී ඇති වගකීම් එනම් කළ යුතු දෑ නොකර සිටිමේ අයිතියක් නොමැති බවත් එහිදී පෙන්වා දුන් ශ්‍රේෂඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඔවුන් වෙත පවරා නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙර ලබාදුන් තීන්දුව අනුව කටයුතු නොකිරීමෙන් පෙනී යන බව ද සඳහන් කළේ ය

No comments:

Post a Comment

Post Bottom Ad