දුටු ගැමුණු රජුගේ කඩුව වෙනුවෙන් ජීවිත 27 ක් බිලි ගත් වැලිකඩ ඛේදවාචකය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 31, 2018

දුටු ගැමුණු රජුගේ කඩුව වෙනුවෙන් ජීවිත 27 ක් බිලි ගත් වැලිකඩ ඛේදවාචකය


මෙරට ඉතිහාසයේ බන්ධනාගාරවල දී සිදු වූ ම්ලේච්ඡතම ඝාතන සිදුවීම් තුනක් වාර්තා කිරීමට මේ රටේ ජඩ දේශපාලන සංස්කෘතිය සමත් විය. 1983 දී කුට්ටමනි ඇතුළු දමිල සිරකරුවන් දුසිම් ගණනක් සාහසික ලෙස ඝාතනය කරමින් සිරකරුවන් බිලි ගැනීම ආරම්භ විය. ඉන් පසුව 2000 වසරේ බණ්ඩාරවෙල බිඳුණු වැව පුනුරුත්තාපන කඳවුරේදී නිරායුධ දෙමළ සිරකරුවන් 20 කට අධික පිරිසක් ඝාතනය විය. ජාතිවාදී දේශපාලනය විසින් එසේ මරා දැමුවේද උතුරේ ඉපදුනු මේ රටේ පුරවැසියන්ය. ලෝකයේ මානව හිමිකම් ප්‍රඥාප්ති වලට අනුව , සිරකරුවෙකු මරා දැමීම බිහිසුණු අපරාධයක් මෙන්ම ඉතා දැඩි දඬුවම් හිමි විය යුතු වරදකි. 1991 දී බ්‍රසීලයේ සාවෝ පොලෝ නගරයේ Carandiru සිරගෙය තුල සිදු වූ ජීවිත 111 ක් බිලිගත් පොලිස් නිලධාරීන් හට එරට අධිකරණය විසින් එක් එක් චුදිතයෙකුට වසර156 බැගින් සිර දඬුවම් පමුණුවන ලදී. එයට අණදුන් මිලිටරි පොලිසියේ ප්‍රධානියාට වසර 624 ක සිර දඬුවක් ලබා දී නඩුව අවසන් කළේය. ලෝකයේ මෙවන් අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ එසේය. එහෙත් ඉහත කී සිදුවීම් වලට නීතියෙන් දඬුවම් ලැබූ කිසිවෙකු ඔබට මේ සමාජය තුල හමු වී ඇතිද ?

දෙවැනි සිදුවීමෙන් හරියටම වසර 12කට පසුව 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුල සිරකරුවන් 27 දෙනෙකු සාහසික ලෙස ඝාතනය කළේය. ඉහත කි සිදුවීම් දෙක හා මේ සිදුවීම අතර ඇත්තේ වෙනස්ම ආකාරයේ දේශපාලන සබැඳියාවක් බව පසුව මාධ්‍ය හා ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් පෙන්වා දුන්නේය. 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුධ සන්නද්ධ හමුදාව වැලිකඩ සිරමැදිරියට කඩා වැදී අමු අමුවේ මෙසේ ඝාතනය කළේ ඔවුන්ගේ ආණ්ඩුවේම රැකවරණය මැද සිටි සිරකරුවන් පිරිසකි. නිරායුධ සිරකරුවන් ඝාතනය කිරීම අතිශයින් අමානුෂික බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් එය සිදුවුයේ මේ රටේ ජනාධිපතිට පමණක් දෙවැනි වූ බලයෙන් විරාජමාන ලේ පිපාසිතයෙක් වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ අණසක යටතේය.

මෙම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන සුදේශ් නන්දිමාල් එම සිදුවීමෙන් පසුව මාධ්‍යට මෙසේ පවසා ඇත . 
" ‘‘අපිට දැන ගන්න ලැබුනා, සෝදිසි මෙහෙයුමකට ආරක්ෂක අංශ බන්ධනාගාරය තුළට එනවා කියලා. ඒ මොහොතේ අපිට දැනගන්න ලැබුන විදිහට එල් හෝල් එක කියලා, එල් වාට්ටුව කියලා සැකකරුවො රදවලා තියන ස්ථානයක් තියනවා. සිර මැදිරියක් තියනවා. ඒ සිර මැදිරියට ඒ මොහොතේ ඒ සිර මැදිරියට ආරක්ෂක අංශ යනවා කියන එක දැනගන්න ලැබුනා. අපිට දැන ගන්න ලැබුනා දැඩි විරෝධයක් මත තමයි ඒ ගොල්ලො යන්නේ මොකද, බන්ධනාගාර නිළධාරීන් කියලා තියනවා එන්න එපා ඇතුළට, ආයුධ අරගෙන විශේෂයෙන් බන්ධනාගාරය තුළට එන්න තහනම්, ඒක නිසා එයට එන්න එපා කියලා කියද්දි, ‘නෑ අපි එනවා මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්‘ ‘අපිට කරන්න දෙයක් නෑ‘ කියලා 1000කට වැඩි ප්‍රමාණයක් එනවා….. ‘‘

මෙසේ බලහත්කාරයෙන් කඩා වැදුණු හමුදාව , විශේෂ කාර්ය බලකාය මෙන්ම ඒ අතරේ සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක ලේකම්වරයාගේ කුලී හේවායන්ද බන්ධනාගාරයට ඇතුළු විය. ඒ තර කැපී පෙනෙන චරිතය වුයේ නියෝමාල් රංගජීව නම් පොලිසියේ මත්ද්‍රවය නාශක කාර්යාංශයේ සේවය කල පොලිස් පරික්ෂකවරයාය. ගෝඨාභයගේ සපීපතම ගෝලබාලයන් ගණනාවක් සිටි අතර, ඔවුන් හරහා මේ රටේ අපරාධ ගණනාවක්ම සිදු කර ඇති බවට මේ වන විට පමණටත් වඩා සාක්ෂි ගොඩ ගැසී ඇත. රංගජීව යනු ඒ අතරින් කෙනෙකු පමණි. බන්ධනාගාරයට ඇතුළුවීමෙන් පසුව රංගජීව ඇතුළු ගෝඨාභයගේ විශේෂ බලකායේ සාමාජිකයින්ගේ ඉලක්කය වුයේ නිලමේ කෙනෙකුටය. ඔහු කෝට්ටේ ප්‍රදේශයේ විහාරස්ථානයක සිදු වූ සාමනේර හිමි නමකගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දියවඩන නිලමේ කෙනෙක් වූ මහරගම පන්සල පාරේ පදිංචිව සිටි මංජු ශ්‍රී මනුකීර්තිය. මෙම ඝාතනය සිදුවීමේ යටබිම් ගත කතාව දිග හැරෙන්නේද වැලිකඩ ඝාතනයත් සමගය. මේ කාලය තුලදී මිත්‍යා විශ්වාසයන් හි ඇලී ගැලී සිටින මහින්ද රාජපක්ෂ ඇතුළු සහෝදර සමාගමට , මේ රටේ හෝ ඉන්දියාවේ ඕනෑම කට්ඨඩියෙකු  පවසන දේ ඉස මුදුනින් පිලිගනි. වරෙක මේ රටේ එක්තරා කට්ඨඩියෙකු පවසන ලද බේගලයක් පසුපස රාජපක්ෂ කඳවුරම හැල්මේ දිව ගියේය. එනම් දුටු ගැමුණු රජතුමාගේ කඩුව තමන් සන්තකයට ලබා ගත හැකි නම් , ජීවිත කාලය පුරාවටම තම බලය රැකගත හැකි බවය. එම රන් අසිපත සොයා මේ රටේ කටුගෙවල් , වෙහෙර විහාරස්ථාන රාශියක් පීරන්නට විය. එහි එක්තරා සන්ධිස්ථානයක් වන්නේ මෙම කෝට්ටේ ඉපැරණි විහාරස්ථානයයි. රහසිගතව මෙම විහාරස්ථානයට ඇතුළු වූ නිලමේ හා තවත් අයෙකු එක්වරම විහාරස්ථානයේ සාමනේර හිමි නමකගේ ඇස ගැටී ඇත. එහි අවසානය වුයේ බුදු කුටිය තුල උන් වහන්සේ මරා දැමීමෙනි. එකී චෝදනාවට සැකකරමින් , නිලමේ හා තවත් සගයෙකු වැලිකඩ බන්ධනාගාරයේ සැකකරුවෙකු ලෙස රඳවා ගෙන ඇත. ඔහු පෙනී සිටීමට නියමිත ඊළඟ නඩුවාරයේදී විශේෂිත ප්‍රකාශයක් කිරීමට නිලමේ බලාපොරොත්තුවෙන් සිටියේය. එම ප්‍රකාශය කිසිසේත්ම රාජපක්ෂ වලව්වේ කීර්තිනාමයට නොගැලපෙන බව ඔවුන් ක්ෂණිකව වටහා ගත්තේය. එයට පෙර රාජපක්ෂ උපාසක මහතුන් නිලමේ ගේ කට සදහටම වසා දැමුවේය. බන්ධනාගාරයට ඇතුළු වූ කුලී හමුදාවන්ගේ ඉලක්කය වුයේ රාජපක්ෂ පරපුරට අවැසි ගොදුර ගිල ගැනීමට වුවද , තනි සිරකරුවෙකු මරා දැමීමෙන් එල්ලවන ලෝක අපවාදයෙන් ගැලවීම පිණිස රංගජීව ඇතුළු පිරිස හතර අතට වෙඩි තබමින් නිලමේ ඇතුළු තවත් නිරායුධ සිරකරුවන් 26 දෙනෙකු සාහසික ලෙස මරා දැමුවේය. රාජපක්ෂ රහස් සියල්ලම පපුව තුල හිර කරගෙන නිලමේ ජීවිතය මුදාහළේ තවත් 26 දෙනෙකුගේ ඉරණමද විසඳීමට තම හාම්පුතාට බාරදීමෙනි.

මෙම සිදුවීම එවකට රාජපක්ෂ ආණ්ඩුවේ සමච්චලයට ලක් වුනා හැර කිසිදු සාධාරණයක් මිය ගිය පිරිසට ඉටු නොවුනි. මේ වන විට රංගජීව හා එවකට මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාව සිටි එමිල් රන්ජන් අත්අඩංගුවට ගෙන ඇත. මෙය සමානවන්නේ මහබැංකුව සුද්ධ කල මහා මොළකරු වූ රනිල් අතහැර සෙසු පිරිස් පසුපස නීතිය ලුහුබැඳිමටය. රංගජීවට අණදුන්නේ ගෝඨාභය බව පැහැදිලි සාක්ෂි ඇති විටක , ඔහු මග හැර කබ්බන් පමණක් විත්ති කුඩුවට නංවන මේ අශීලාචාර නීති ක්‍රමය පළමුව හෙලා දැකිය යුතුය. මේ රටේ දස දහස් ගණන් ජීවිත බිලිගත් දේශපාලුවන්ට ඉහලින් මේ නීතිය ක්‍රියාත්මක නොවන බව අප දනිමු. එහෙත් අප සටන් වදින්නේ ඔවුන්ට නිසියාකාරව යුක්තිය පසිඳලන සමාජයක් ගොඩ නැගීමටය.

19,664 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad