ලංකා සීනි සමාගම ලාභ පිට ලාභ ලබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

ලංකා සීනි සමාගම ලාභ පිට ලාභ ලබයි

පසුගිය 2015 වසරේදී බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී මිලියන 1006 ක ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී මිලියන 1,174.6ක ලාභයක් දක්වා වර්ධනය කර ගත හැකි වූ බවත් කර්මාන්ත හා වාණිජ කටුයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

වර්ෂ 2015 වන විට පාඩු ලබමින් පැවති ලංකා සීනි සමාගම, සෙවණගල හා පැලවත්ත ඒකකයන්හි උක්ගොවීන්ට හා භාණ්ඩ හා සේවා සපයන සැපයුම්කරුවන්ට ගෙවීම් කළ නොහැකි අර්බුදකාරී තත්ත්වයක පැවතුණු බව පවසන පවසන ඇමැතිවරයා තමන් මේ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කළ බව පැවසීය .


ඒ අනුව සීනි කර්මාන්තය යළි නගා සිටු වීමට සීනි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට, නාස්තිය හා අනවශ්‍ය වියදම් වැළැක්වීම සඳහා මනා කළමනාකාරීත්වයක් ඇති කිරීම ඇතුළු පියවර රැසක් ගෙන ඇත.

පසුගිය වසරේ නියගය සහ වෙනත් ගැටලු ගණනාවක් හේතුවෙන් සීනි නිෂ්පාදනය මදක් පහළ වැටුණද අතුරු නිෂ්පාදන වල වර්ධනයත්, නාස්තිය හා අමතර වියදම් අවම කිරීම නිසාත් 2017 වසරේදී ද සමස්ත ආදායමේ වර්ධනයක් මෙන්ම ලාභාංශ වර්ධනයක්ද ඇති වී ඇත.

මේ සඳහා සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ සියලුම සේවක සේවිකාවන්, උක්ගොවීන් ඇතුළු සියලුම දෙනාගේ සහයෝගය ලැබුණු බවත් මේ නිසා මේ වන විට ලංකා සීනි සමාගම ණය බරින් තොර වූ ලාභ ලබන මට්ටමට පැමිණ ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

2018 වසර අවසානය වන විට සීනි නිෂ්පාදනය ඉහළ නංවා බිලියන 1.8 ක (මිලියන 1,816) ලාභයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.

පසුගිය සතියේ දී උක්ගොවි ජනතාව හමු වී ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කළ බවත් ඔවුන් ප්‍රධාන ගැටලු 10 ක් ඉදිරිපත් කළ බවත් කී බදියුදීන් මහතා ඒ ගැටලු බොහොමයක් අයත් වන්නේ මුදල් අමාත්‍යාංශයට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad