අරවින්ද පෙරේරා - රෝයල් සෙරමික්‌ස්
ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ
මම සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ වුණු දවසේයි
ධම්මික පෙරේරා මහතා එහි සභාපති වුණේ.
ධම්මික පෙරේරා මහතා එහි සභාපති වුණේ.
ලෝකයේ බොහෝ දෙනෙක් දක්‍ෂ වෙන්නේ කුමන හෝ එක අංශයකට. ඒත් අද අපි කියන්න යන්නේ අංශ කීපයකින්ම ප්‍රමුඛයා වුණු පුද්ගලයෙක් ගැන. තමන්ගේ ජීවිතයේ සිහින සැබෑ කරගත්තා විතරක් නෙවෙයි ඒ සිහිනවලින් ගොඩක් ඉස්‌සරහට ගමන් කරපු කෙනෙක් ගැන. ඔහු රෝයල් සෙරමික්‌ස් ලංකා සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂ වගේම සම්පත් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ අරවින්ද පෙරේරා.... තමන්ගේ ජීවිතයේ මෙතෙක් කල් පැමිණි ගමන්මග දිවයින බිස්‌නස් ලයිෆ් වෙත ඒ මහතා විස්‌තර කළේ මෙහෙමයි.
මම ඉපදුනේ පානදුරේ. පියා සිරිල් පෙරේරා රජයේ සේවකයෙක්. මව විමලාවතී පෙරේරා. ඇය ගුරුවරියක් අපි මධ්‍යම පාන්තික පවුලක්, මට වැඩිමල් සහෝදරියක් හා සහෝදරයෙක් ඉන්නවා. අක්‌කා මානෙල් පෙරේරා අයියා ක්‌ලැරන්ස් පෙරේරා, බාලයා මම.
මුලින්ම අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පස්‌වන ශ්‍රේණිය දක්‌වා ඉගෙන ගත්තා. කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයට ගියා තරග විභාගයකින්. එහෙ වසර දෙකක් ඉගෙන ගත්තා. අටේ පන්තියට ආනන්දයට ගියා ඒත් තරග විභාගයකින්.
උසස් පෙළ දක්‌වා ඉගෙන ගත්තේ ආනන්දයේ, 1974 දී තමයි මම උසස් පෙළ විභාගය කළේ. පානදුරේ ගොඩක් අය හිතන්නේ මම ඉගෙන ගත්තේ සුමංගලයෙ කියලා. ශ්‍රී සුමංගල විද්‍යාලයට අවුරුදු 5 ක් ගියාට ආදි ශිෂ්‍ය සංගමයේ අවුරුදු 6 ක් සභාපති වෙලා හිටියා. ලංකාවේ 1974 අවුරුද්දේ හොඳම උසස් පෙළ පන්තිය වුණේ ආනන්ද විද්‍යාලයේ මගේ පන්තිය. ළමයින් 18 ක් ඉංජිනේරු පීඨයට තේරුණා. කවුරුත් බලාපොරොත්තු වුනේ නැහැ, මම ඉංජිනේරු පීඨයට තේරෙයි කියලා. හේතුව මම පන්තියේ 25-30 අතරේ වගේ හිටියේ. ඒක වාසනාවන්ත සිදුවීමක්.
මම උසස් පෙළ පන්තියේදී විභාගය අතෑරලා වගේ හිටපු කාලෙක මගේ යාළුවෙක් මාව එයාලගේ ගෙදර ගෙනිහින් එයත් එක්‌ක පාඩම් කරවන්න කටයුතු කළා. ඒ යාළුවා ගාමිණී ඇල්විටිගල. ඔහුත් ඉංජිනේරුවෙක්
ඒ අවුරුද්දෙ තමයි ප්‍රථමවතාවට සියයට සියයක් දිස්‌ත්‍රික් මට්‌ටමින් විශ්වවිද්‍යාලයට ළමයි ගත්ත අවුරුද්ද. ඒ වගේම ප්‍රථම වතාවට අපි ඉල්ලපු විශ්වවිද්‍යාලය නොදීපු අවුරුද්ද, අපි ඔක්‌කොම පේරාදෙණිය ඉල්ලුවා. ඒත් යෑව්වේ මොරටුව විශ්වවිද්‍යාලයට මම 2 වන වසරේ සිට යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා. මම පුහුණු වුණේ වානේ සංස්‌ථාවේ සහ වේරහැර මධ්‍යම ගමනා ගමන මණ්‌ඩලයේ. මම දෙවන පෙළ ගෞරව උපාධියක් ලැබුවා. 1980 දී මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළා.
විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේදී කැමැත්තක් ඇති වුණා. කළමනාකරණය සහ ගණකාධිකරණය විෂයන් හදාරන්න දැන් CIMA විභාගයට ඒ කාලේ කිව්වේ ICMA කියලා. මේකට මුදල් සොයා ගන්න මම ටියුෂන් දුන්නා. මම පොඩි කාලේ ඉඳලම මුදල් සම්බන්ධයෙන් කාටවත් කරදරයක් නොකරන්න පුරුද්දක් තිබුණා. අම්මා තාත්තාගෙන් වුනත් ඉල්ලන්න මැලි කමක් මගේ තිබුණේ. සාමාන්‍ය පෙළ සමත් වෙන්න අක්‌කා සහ අයියා විශාල වශයෙන් උදව් කළා. තුන් දෙනාම පානදුරේ සුමංගලයෙන් තරඟ විභාගවලින් කොළඹ විශාඛා සහ ආනන්ද විද්‍යාලවලට ආපු අය. මට ජීවිත කාලයේම ලැබුණු ගුරුවරු ඉතාම හොඳයි. ඒ අතින් මම හරි වාසනාවන්තයි. වැරදිවලට ගුටි කාලා තියෙනවා. ඒත් ඒවා ගැන වුනත් හිතන්නේ ආදරයකින් ගෞරවයකින්.
අම්මා හින්දා පන්සල්වලට වැඩි එකතුවක් තිබුණා. පොඩි කාලේ ඉඳලම පන්සලේ අභාෂය ජීවිතයේ දියුණුවට සාධාරණ විදිහට වැඩ කරන්න ගොඩක් බලපෑවා. පාසලෙන් ගුරුවරුන්ගෙන් පවුලෙන් මට ලැබුණු ශික්‍ෂණය ඉතාම වැදගත්. මට ගොඩක් යාළුවෝ ඉන්න කෙනෙක්. එය මම දකින්නේ ධනාත්මක අගයක් ලෙස. මගෙන් යාළුවන්ටත් යාළුවන්ගෙන් මටත් ලැබුණු දේ බොහොමයි. ඉගෙනීමට පමණක් නොවෙයි ජීවිතයේ හැම දේටම.
මුලින්ම ස්‌ථීර රැකියාව හැටියට ජාතික කිරි මණ්‌ඩලය වසරක් සේවය කලා ඉංජිනේරුවෙක් හැටියට 1981 දී. ඉන් පසු ලංකා දුම්කොළ සමාගමේ කළමනාකරණ පුහුණු වන්නෙක් ලෙස බැඳිලා වසර දෙකකින් එම දෙපාර්තමේන්තුවේ කළමනාකරු ලෙස පත්වෙලා තව වසරක් එහි වැඩ කළා.
මේ වන විට CIMA විභාගය ඉවර කරලා තිබුණේ. ඒ කියන්නේ ඉංජිනේරු හා ගණකාධිකරණ ක්‍ෂේත්‍ර දෙකෙන්ම සුදුසුකම් සම්පූර්ණ කරලා තිබුණේ. ඒ දෙකම භාවිත කළ හැකි රැකියාවකට යන්න මට ඕන වුණා. ඊට පස්‌සේ දුම්කොළ සමාගමෙන් අස්‌වෙලා DFCC ආයතනයට ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරී හැටියට බැඳුනා.
එතනදී තමයි ජීවිතයේ පළමුවරට බැංකුකරණයට යොමු වුණේ. DFCC ආයතනය සංවර්ධන බැංකු කටයුතු සිදු කළේ. මම එහි සිටි අවුරුදු තුනම කටයුතු කලේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් දියුණු කරන්න. අදටත් මම කැමතිම රැකියාව මොකක්‌ද කියලා ඇහුවොත් මම කියන්නේ මම ආසම රැකියාව ඒක කියලා. ඒ කාලේ පටන් ගත් සමහර ආයතන අද ගොඩක් දියුණුයි. එදා බින්දුවෙන් පටන් ගත් සමහරු අද බිලියන පතියන් බවට පත්වෙලා. ඒවා ගැන b3 2හිතද්දී මට ගොඩක් සතුටක් දැනෙනවා.
සම්පත් බැංකුව පටන් ගත්තේ 1987 මැයි මාසයේ. මම සම්පත් බැංකුවට ගියේ 1987 ඔක්‌තෝබර් මාසයේ. ඒ ව්‍යාපෘති අංශයට. සංවර්ධන බැංකු කාර්යයන් සඳහා ව්‍යාපෘති පටන් ගැනීමට අංශයේ අංශ ප්‍රධානියා ලෙස මම ගියේ. ඒ අංශයේ මුල්ම සේවකයා මම. ලංකාවේ ගොඩක් ගම්නගරවල මම උදව් කරපු ආයතන තියෙනවා. රටේ රැකියා ඇති කිරීම, රැකියා වැඩිකිරීම රටේ නිෂ්පාදන අංශය දියුණු කිරීම වගේ රටේ ආර්ථිකයට දායක වෙන්න මට හැකි වුණා.
මගේ වෘත්තීය ජීවිතයේදී ආයතනික ණය අංශය, ජාත්‍යන්තර ණය අංශය ඇතුළු සම්පත් බැංකුවේ සෑම අංශයකටම නායකත්වය ලබාදී තිබෙනවා. මගේ එම්. බී. ඒ. උපාධිය DFCC ආයතනයේ ඉන්න කාලේ පටන් අරගෙන සම්පත් බැංකුවේ සේවයේ ඉන්න කාලේ ඉවර කලා. වරලත් ඉංජිනේරු තත්ත්වය හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජික තත්ත්වය මා ලබා ගත්තා. වෘත්තීය ඉංජිනේරුවෙක් වෙන්න මේ දෙකම ඕන.
මගේ ගාව වැඩ කරපු ගෝලයෙක් මට දවසක් අභියෝගයක් කලා, සර්ට වඩා ඉදිරියෙන් බැංකු කරණයෙන් ඉන්නේ කියලා. හේතුව එයා බැංකු විභාග කීපයක් කරලා තිබුණා. බැංකු විභාග කරන්න අදහසක් හෝ කැමැත්තක් මගේ තිබුණේ නැහැ. ඒත් මම කිව්වා ඔයා ඕක ඉවර කරන්න කලින් මම ඕක ඉවර කරනවා කිව්වා. වසර දෙකහමාරකින් මම ඒක ඉවර කළා.
සම්පත් බැංකුවේ අවුරුදු 29 ක් සේවය කළා. අවසන් අවුරුදු පහ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස සේවය කළා. ඒ අතර සම්පත් සෙන්ටර් අධ්‍යක්‍ෂ ලෙසත් සියපත ෆිනෑන්ස් සභාපති ලෙසත් සම්පත් ඉන්ෆොර්මේෂන් ටෙක්‌නොලොජි ලිමිටඩ් සමාගමේ අධ්‍යක්‍ෂ ලෙසත් සම්පත් බැංකුවට කොටස් හිමි ලංකා බංග්ලා ෆයිනෑන්ස් ලිමිටඩ් අධ්‍යක්‍ෂ ලෙසත් කටයුතු කළා.
2016 සැප්තැම්බර් මාසයේ 60 වන උපන් දිනය දවසේ විශ්‍රාම ගත්තා. සම්පත් බැංකුවේ විශ්‍රාමික වයස අවුරුදු 55 යි. නමුත් මම අවුරුදු 60 වන තුරු සේවය කලා. විශ්‍රාම ගියේ පූර්ණකාලීන රැකියාවක් කරන්න නෙමෙයි. ඒ නිසා යම් යම් ආයතනවල අධ්‍යක්‍ෂ මණ්‌ඩලවලට ගියා. හේලීස් සමාගමේ ආයතන තුනක අධ්‍යක්‍ෂ කෙනෙක්. කොළඹ කොටස් වෙළෙඳපොල අධ්‍යක්‍ෂවරයෙක් ලෙසත් සම්පත් බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල උපදේශක ලෙසත් සේවය කළා.
මම සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ වුණු දවසේයි ධම්මික පෙරේරා මහතා එහි සභාපති වුණේ. මම විශ්‍රාම ගියාට පසු එයාගේ ඉල්ලීමක් තිබුණා, පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට යන්න කියලා. ඒ නිසා සම්පත් බැංකුවේ උපදේශක කමෙන් හා සියපත ෆිනෑන්ස් ආයතනයෙන් මම ඉවත් වුණා. 2017 මාර්තු මට ආරාධනයක් ලැබුණා. රොසෙල් ආයතනයට එන්න කියලා. ඒ අනුව මේ තනතුර භාරගත්තා.
1983 දී මම විවාහ වුණා. මගේ බිරිඳ සමන්ති පෙරේරා. ඇය ගණකාධිකාරීවරියක් ලෙස පානදුරේ නැචුරල් කලෙක්‌ෂන්ස් සමාගමේ සේවය කරනවා. ඇයව මම පොඩි කාලේ ඉඳලා දන්නවා. ඇගේ මව මගේ අම්මාගේ ගෝලයෙක්. ඇය විශාඛා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. දුම්කොල සමාගමේ ඉන්න කාලේ යාළුවෙලා ඒ කාලෙම කසාද බැන්දා. අපට පුතුන් දෙන්නයි. ලොකු පුතා නිපුන, 1983 ඉපදුනේ. පොඩි පුතා සංජීව 1989 ඉපදුනේ. දෙන්නම සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. නිපුන සිංගප්පූරුවේ රැකියාව කරනවා. සංජීව ඉංජිනේරුවෙක් ලෙස ලංකා කොම් ආයතනයේ සේවය කරනවා.
මම පොඩි කාලේ ඉඳලා සමාජ සේවා කටයුතුවලට හරිම ආසයි. පානදුරේ රික්‍රියේෂන් ක්‌ලබ් ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස මා කටයුතු කළා. පානදුර රොටරි සමාජයේ සභාපති ලෙසත් කටයුතු කළා.
CIMA ආයතනයේ කමිටු සාb3 3මාජික ලෙස සේවය කළා. ඉංජිනේරු ආයතනයේ තනතුරු දැරුවා. ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ ආයතනයේ උපසභාපති ලෙසත් පසුව සභාපති ලෙසත් කටයුතු කළා. දැන් අනුශාසක ලෙස ඉන්නවා. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්‌ඩලවල සාමාජික ලෙස කටයුතු කළා. ණය තොරතුරු කාර්යාංශයේ සහ ලංකා ක්‌ලියර් ආයතනයේ අධ්‍යක්‍ෂ ලෙස හිටියා. ජාතික ගෙවීම් කවුන්සිලයේ සාමාජික ලෙස කටයුතු කළා.
මම කියවන්න හරි ආසයි. දවසකට අඩුම තරමින් පත්තර දෙකක් තුනක් කියවනවා. පොත් කියවනවා, සින්දු කියනවා, සින්දු අහනවා. ක්‍රිකට් මැච් බලනවා. ඩිස්‌කවරි, ඇනිමල් ප්ලැනට් වගේ රූපවාහිනී වැඩසටහන් බලන්න මම ආසයි.
මම කවදාවත් හිතුවේ නැහැ, සම්පත් බැංකුව වගේ ආයතනයක මුල් පුටුවට එන්න. මගේ සිහින මම සාර්ථක කර ගත්තා. ඇත්තටම මම සිහිනවලට එහා ගිය කෙනෙක්. කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස සම්පත් බැංකුව ලංකාවේ මුල්ම ආයතන දහය අතරට ගෙන එන්න මට හැකි වුණා. ඒකට හාර දහසක සේවක පිරිස ලක්‍ෂ ගානක ගනුදෙනුකරුවන්, සභාපති හා අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ඇතුළු සියල්ල සේරම එකතු කරගෙන ඊට නායකත්වය දෙන්න මට හැකි වුණා. 2011 දී බැංකුවේ බිලියන 3.3 ක් වුණු සම්පත් 2016 දී 9.1 දක්‌වා ඉහළ නංවන්න මට හැකි වුණා. අනාගතයේදී මගේ පුද්ගලික ජීවිතය පිළිබඳ වැඩි කාලයක් ගත කරන්න මම කැමතියි.
සාකච්ඡා කළේ - ජනිත සෙනෙවිරත්න
No comments:
Post a Comment