ෆොන්සේකාගේ විශේෂ හමුදාවක් ගැන අගමැති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

ෆොන්සේකාගේ විශේෂ හමුදාවක් ගැන අගමැති කියයි

ෆොන්සේකාගේ විශේෂ හමුදාවක් ගැන අගමැති කියයි
සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක්‌ සෑදීමේ අවශ්‍යතාවක්‌ රජයට නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රජය කටයුතු කරනුයේ ත්‍රිවිධ හමුදාවේ ශක්‌තිය හා ධෛර්යය දියුණු කිරීමට මිස වෙනම විශේෂ හමුදා ඒකක පිහිටුවීමට නොවන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. 

කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක ප්‍රධානියා කර වෘත්තීය අරගලවලට මුහුණ දීමේ විශේෂ බළකායක්‌ සෑදීමට ජනාධිපතිවරයා යෝජනා කළැයි කියන ප්‍රකාශය සත්‍යයක්‌ දැයි ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. එහිදී අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

“ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ත්‍රිවිධ හමුදා මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කිරීමට යෝජනාවක්‌ ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ අමාත්‍ය මණ්‌ඩලය විසින් ගෙන නැහැ. 2017 අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වූ අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේදී අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී කැබිනට්‌ මණ්‌ඩලය විසින් අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්‌ඩව පවත්වා ගෙන යෑම සහතික කිරීම සඳහා ඉහළ මට්‌ටමේ කමිටුවක්‌ පත් කිරීමේ වගකීම ජනාධිපතිතුමා හා මා වෙත පවරනු ලැබුවා.

දැනට ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙමින් යනවා. සරත් ෆොන්සේකා මැතිතුමාටත් ඉන් යම් වගකීම් කොටසක්‌ පැවරීමට තීරණය වුවහොත් ඒ අනුව ක්‍රියා කරන බව කියන්න කැමතියි.“ යැයි ද අගමැතිවරයා පැවසී ය. මෙහිදී විජිත හේරත් මහතා දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරයා එවන් යෝජනාවක්‌ කළාද නැද්ද යන්නයි. ඊට යළි පිළිතුරු දුන් අගමැතිවරයා ප්‍රකාශ කළේ කැබිනට්‌ සාමුහික වගකීම මත කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී සාකච්ඡා කළ දේ තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවයි. 

මාධ්‍ය විසින් කැබිනට්‌ මාධ්‍ය සාකච්ඡාවේදී නොයෙක්‌ ප්‍රශ්න කැබිනට්‌ ප්‍රකාශකගෙන් අසා තමන්ට අවශ්‍ය දේ පමණක්‌ පළ කරන බව කී අගමැතිවරයා රාජිත සේනාරත්න මහතා මෙරටට පැමිණි පසුව ඔහු ඒ බව ප්‍රකාශ කරනු ඇතැයි ද පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad