පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ බලපෑම හා මෙහෙයවීම මත තමාව අංගොඩ මානසික රෝහලේ බලහත්කාරයෙන් නවතා තබා විදුලි සැර වැද්දීම් ඇතුළු විවිධ ප්‍රතිකාර සිදුකරන ලද විශේෂඥ වෛද්‍යවරයකු වන ජයාන් මෙන්ඩිස් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා තමාට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමින් අමාත්‍යවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ හර්ෂ බණ්ඩාර තිලකසිරි නමැත්තා ඊයේ (09) රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට ලියවිල්ලක් භාර දුන්නේය.
අංගොඩ මානසික රෝහලේදී මෙලෙස අසාධාරණයට ලක්වූ පළමු පුද්ගලයා තමන් නොවන බවත් අනෙක් පුද්ගලයන් අමාත්‍යවරයාට දක්වන අධික බිය හේතුවෙන් මේ සිද්ධි පිළිබඳ පැමිණිලි කිරීමට මැළි වන බවත් ඔහු ඉදිරිපත් කළ ලියවිල්ලේ සඳහන් වෙයි.
මේ විෂමාචාර සිදුවීම සම්බන්ධයෙන් සංගමය මඟින් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා හට පැමිණිලිකරු ලිඛිත ලියැවිල්ලක් ඉදිරිපත් කළේය.
අදාළ පැමිණිලිකරුගේ කොරියානු ජාතික පෙම්වතිය ලබා ගැනීම සඳහා පාඨලී චම්පික අමාත්‍යවරයා විසින් ඔහුට විටින් විට බලපෑම් කර ඇති අතර ඒ නිසා ඇති වූ පෞද්ගලික අමනාපකම් මත ඔහු මානසික රෝගියකු යැයි පවසා බලහත්කාරයෙන් විදුලි සැර වැද්දීම් ඇතුළු ප්‍රතිකාර කිරීමට අමාත්‍යවරයා වෛද්‍ය ජයාන් මෙන්ඩිස් යන අයට උපදෙස් දී ඇතැයිද පැමිණිලිකරු සඳහන් කරයි.
අදාළ පැමිණිල්ල සහිත ලිපි ලේඛන භාර දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ බණ්ඩාර තිලකසිරි මහතා මෙසේ පැවැසීය.
“මම මේ පිළිබඳව මීට කලින් පොලිසියටත් වෛද්‍ය සභාවේ කාලෝ ෆොන්සේකා මහතාටත් පැමිණිලි කළා. අද පාදෙණිය මහත්තයට පැමිණිල්ල දුන්නා. ඇත්තටම මේක එළියට කියන්න ආවේ ජීවිත ආසාව අත්හැරලා. මීට කලින් ගෙනිහිල්ලා දාපු තුන් හතර දෙනෙක්ම යුක්තිය ඉෂ්ට කරන්නයි පරීක්ෂණයක් ඉල්ලන්නේ. තාම මූලික පරීක්ෂණයක්වත් සිදු වුණේ නැහැ. පොලිසිය කතා කරනවා සමාදානය කරන්න. ඒ අතරේ චම්පික ඇමැතිතුමා එන එන අය දාලා මං පිස්සෙක් කියලා මඩ ප්‍රචාර යවනවා. මං එතුමාට යෝජනා කරනවා මගේ නම කියලා පුළුවන් නම් පිස්සෙක් කියන්න.
“අනාගතයේදී ඔප්පු වෙයි කාටද පිස්සු, කවුද උන්මත්තකයෝ කියලා. මේ අඥාන කූට කුමන්ත්‍රණ ළඟදීම හෙළිදරව් වෙයි. මොකද මං ළඟ පටිගත කළ සාක්ෂි තිබෙනවා. ඒවා ඉදිරියේදී මං මාධ්‍යයට ඉදිරිපත් කරනවා.“ යැයිද තිලකසිරි මහතා පැවසී ය.
No comments:
Post a Comment