'මේ මිනිස්සු දහ දෙනාම ඇමතිවරු වුනේ කොහොමද' ඇමතිවරයෙක් ප්‍රශ්න කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

'මේ මිනිස්සු දහ දෙනාම ඇමතිවරු වුනේ කොහොමද' ඇමතිවරයෙක් ප්‍රශ්න කරලා

'මේ මිනිස්සු දහ දෙනාම ඇමතිවරු වුනේ කොහොමද' ඇමතිවරයෙක් ප්‍රශ්න කරලා
එක්තරා කාලයක දහ දෙනෙක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ලෙස පත් වූ බවත් එහිදී චම්පික ඇමැතිවරයා පමණක් කතා කළ බවත් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. 

“කැබිනට් පත‍්‍රිකා කියවන, මේ ගැන දැනුමක් ඇති මේ මිනිස්සු දහ දෙනාම ජ්‍යෙෂ්ඨ ඇමතිවරු වුනේ කෙසේදැයි ප‍්‍රශ්න කළා.“ යැයිද ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ(01) පැවැති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්වී දස වසරක් සපිරීම නිමිත්තෙන් ‘තිරසර පෙරමග‘ ග‍්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, “ “අද අප බොහෝ දුරට නවීකරණය නොවූ දේශපාලන පක්ෂ තිබෙන රටක්. ආරම්භකළ කාලයේ තිබූ අදහස් තමයි තවමත් දේශපාලන යාන්ත‍්‍රණය තුළ කතා කරන්නේ. අපහාසයක් හැටියට නෙමෙයි, අදටත් කතා කරන්නේ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ගැන, එසේත් නැතිනම් ජේ.ආර්. ජයවර්ධන ප‍්‍රතිපත්තිය ගැන, නැතිනම් රෝහණ විජේවීර ප‍්‍රතිපත්තිය ගැන. ඒවා හොඳයි එම කාලය තුළ අත්‍යවශ්‍යයි. 

ඒවා සමාජීයීය නිර්මාණ. නමුත් විස්සේ දාහතේ අපි මේ ගැන අලූතින් කතාකළ යුතුයි. අද 2017, 1947, එහෙම නැත්නම් 1956 නැතැනම් 71 ඒ කේන්ද්‍රගත වර්ෂ අනුව රටක් ඉදිරියට යන්න බැහැ. ඒවා එම කාලවලට හොඳ වගේම මතිමතාන්තරවලට ලක්වෙන්න ඇති. නමුත් අද එයට වඩා ලෝකය සහ අපේ රටේ අත්දැකීම් අනුව නව චින්තනයකට අප යා යුතුයි. ඒ චින්තනන නම් විද්‍යාත්මක අංශයට දේශපාලනය ගෙන යා යුතුයි. අද සිංගප්පූරුවේ කැබිනට් එකේ 80% ක් ඉන්නේ ඉංජිනේරුවන්. 

රුසියාවේ කැබිනට් එකේ නායකත්වයට හුග දෙනෙක් ආවේ ඉංජිනේරු විද්‍යාලවලින්, ඇමරිකාවේ නායකයෝ හුග දෙනෙක් විද්‍යා අංශවලින් ආ අය. ඒ නිසා එම විද්‍යා ප‍්‍රවණතාවය අපේ දේශපාලනයට ආ යුතුයි.“ 
“එතුමා බොහෝ විට නිර්භයව කතා කරනවා, එක උදාහරණයක් කියන්නම්, වරදවා තේරුම් ගන්න එපා, එක්තරා කාලයක අපි දහ දෙනෙක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හැටියට පත් වුනා. කිසි කෙනෙක් කිසි අදහසක් ප‍්‍රකාශ කළේ නැහැ. 

නමුත් චම්පික පමණයි එහිදී කතා කලේ, කැබිනට් පත‍්‍රිකා කියවන, මේ ගැන දැනුමක් ඇති මේ මිනිස්සු දහ දෙනාම ජ්‍යෙෂ්ඨ ඇමතිවරු වුනේ කෙසේදැයි ප‍්‍රශ්න කළා. මෙමගින් කැබිනට් එකට වාසියක් ඇතිවේද, අවාසියක් ඇතිවේද කියන ප‍්‍රශ්නය නැගුවේ මෙතුමා පමණයි. විවිධ පිළිතුරු තිබිය හැකියි. නමුත් එතුමාට දැනුම සහ හැගීම තිබුණා එම ප‍්‍රශ්නය නැගිය යුතුයි කියා. එලෙස අප කැමති වුනත් නැති වුනත් ලෝකය ඉදිරියේ බුද්ධිමත් සමාජයක් වෙත යනවා. අද අපේ යුතුකම කුමක්ද?“ යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad