රැහේ එවුන්ට හැමතැන කරදර.. රැහේ ජනාධිපති කෝ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

රැහේ එවුන්ට හැමතැන කරදර.. රැහේ ජනාධිපති කෝ…

සිය රැහේ එවුන් ලෙස හඳුන්වා දුන් මාධ්‍යවේදීන්ට වෘත්තිමය වශයෙන් මුහුණ පාන්නට සිදුව ඇති කරදර හිරිහැර ජනාධිපතිවරයාගේ අවධානයට ලක් නොවීම කණගාටුවට කරුණක් බව පොදුජන මාධ්‍ය පෙරමුණේ සභාපති ගාමිණි ජයලත් මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ දී ජනාධිපතිවරයාගේ රැහේ මාධ්‍යවේදීන් අප්‍රමාණ වධ හිංසාවලට පත්වන බව පැවසූ ගාමිණි ජයලත් මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරෙන කරුණු පුවත්පත්වලින්වත් දකින්නට ජනාධිපතිවරයාට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කළේය.

ගාමිණි ජයලත් මහතා මෙම අදහස් පළ කළේ පොදුජන මාධ්‍ය පෙරමුණේ මංගල මාධ්‍ය හමුවට කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී අද (11) උදෑසන සහභාගී වෙමිනි. මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම ‍උදෙසා කියමින් 2015 ජනවාරි මස 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් බලය තහවුරු කර ගත් වර්තමාන ආණ්ඩුව සිදුකරමින් යන නිර්දය මාධ්‍ය මර්දනයට විරෝධය පළ කිරීම උදෙසා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ කරදරවලට මුහුණ පා ඇත්තේ ජනාධිපතිවරයා ද නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් මාධ්‍යවේදීන් බව පැවසූ ගාමිණි ජයලත් මහතා වැඩ තහනම් කිරීම, සේවයෙන් පහ කිරීම, අනිසි ස්ථාන මාරු යනාදියෙන් මාධ්‍යවේදීන් විශාල පිරිසක් පීඩාවට පත් ව සිටින බව ද හෙළි ක‍ළේය.

යහපාලනය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය ඇති කිරීමට මාධ්‍ය ආයතන විශාල කාර්යභාරයක් ඉටු කරන ලද නමුත් බලයට පත්ව වසර දෙකක් ගෙවෙන්නටත් පෙර එම විශ්වාසය පළුදු වී ඇති බවත් පොදුජන මාධ්‍ය පෙරමුණේ ජාතික සංවිධායක කුල ශ්‍රී කාරියවසම් මහතා පැවසීය.

– ධනුෂ්ක

No comments:

Post a Comment

Post Bottom Ad